කොළඹ නගරයේ අතිශයින්ම ජනාකීර්ණය ප්‍රදේශය වන්නේ පිටකොටුවය.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළ, ගුණසිංහපුර ප්‍රධාන බස් නැවතුම්පොළ මෙන්ම අලුත්කඩේ උසාවියට දෛනිකව එන ලක්ෂ ගණන් ජනතාව පිටකොටුව හරහා යා යුතුය.
පළමුවැනි, දෙවැනි, තුන්වැනි හරස් වීදිය වේල්ල වීදිය ද මේ පිටකොටුව කේන්ද්‍රගතව පිහිටා තිබෙන නිසා දවසකට පිටකොටුවට පමණක් එන පිරිස ලක්ෂ පහකට අධිකය.
ප්‍රවාහන මර්මස්ථාන පමණක් නොව කොළඹ පාලනය කරන පොලිස් මූලස්ථානයද ඇත්තේ පිටකොටුවේය. කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, කොළඹ උතුර, දකුණ හා මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිදෙනාගේ කාර්යාලත්, පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය හා රථවාහන මූලස්ථානයද පිහිටියේ පිටකොටුව පෞද්ගලික ප්‍රධාන බස් නැවතුමපොළ දෙකටම මුහුණලාය.
මේ අතරින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පිහිටි මහල් ගොඩනැගිල්ල උඩ ගුවන් යානා නාශක අවිද සවිකර ඇත්තේය.
එම ගොඩනැගිල්ල පහළ C.C.T.V. කැමරා සවිකර පැය 24 පුරාම සුපිරික්ෂාකාරීව සිටින පොලිස් නිලධාරීහුද සිටිති. මේ නිසා කොළඹ නගරයේ වැඩිම ආරක්ෂාවක් ඇති තැන මෙතැනයයි කිසිවකු හිතුවේ නම් එය මුසාවක් බව හෙළි වූයේ ඉකුත් 30 වැනිදාය.
ඒ සිද්ධිය කොළඹ නගරයේ ආරක්ෂාව ගැන නැවත වරක් සිතිය යුතු බවට පොලිසියට රතු සිහි කැඳවීමක් ලද අවස්ථාවක්සේය.
මේ සිද්ධියේ එක් පාර්ශ්වකරුවෙක් වෙන්නේ අනුරාධපුර මහඉලුප්පල්ලම පදිංචි විරාජ් ලක්ෂිත ලියනගේය. ඔහුත් ඔහුගේ මිතුරෙකු වූ ගාල්ලේ නාකියාදෙණියේ පදිංචි ප්‍රදීප් සඳමාලුත් තවත් මිතුරන් දෙදෙනකුත් පසුගිය 30 වැනිදා කොළඹට පැමිණියේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටීම සඳහාය.
මේ නඩුව කොළඹ කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇත්තේ 2017 වසරේදීය. ඒ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සුපිරි පන්තියේ අවන්හලක හිමිකරුවකුගේ පැමිණිල්ලකට අනුවය.
දැන් ඒ අවන්හල එම ස්ථානයේ නැත. මෙම නඩුවේ විත්තිකරුවන් සිවුදෙනකුගෙන් දෙදෙනකු එම සිදුවීම වූ කාලයේදී අදාළ අවන්හලේ සේවය කළහ. අනෙක් දෙදෙනා මොවුන් දෙදෙනාගේ මිතුරන්ය.
මේ සිවු දෙනාම මත්පැන් පානය කර සිටියදී අවන්හල් හිමිකරු සමග ආරවුලක් ඇතිකරගෙන තිබිණි. මේ ගැටුමේදී අවන්හලේ දේපළ කඩා දමමින් අනර්ථයක් කර තිබුණේය.
මේ චෝදනාවේ සැකකරුවන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි. එම නඩුව අවසන් වරට විභාග වූයේ පසුගිය 30 වැනිදාය.
විරාජ් ලක්ෂිත, ප්‍රදීප් සඳමාල් ඇතුළු සිවු දෙනාම ශ්‍රීලංකා යුද හමුදාවේ විශිෂ්ටතම රෙජිමේන්තුව ලෙස සැලකෙන කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සෙබළුන්ය.
මොවුන් එම රෙජිමේන්තුවෙන් නීත්‍යනුකූලව ඉවත්ව ඇත්තේද එකම කාලයකදීය. මේ සිවු දෙනාට එරෙහිව විවිධ අධිකරණවල පහරදීම්, කොල්ලකෑම් ආදී අපරාධවලට අදාළව නඩු 11 ක්ද පවතින බවට තොරතුරු මේ වන විටත් ලැබී තිබේ.
කෙසේනමුත් පසුගිය 30 වැනිදා පැවති නඩුවට මොවුන් පැමිණ නඩු විභාගය අවසන් වීමෙන් පසු අලුත්කඩේ අධිකරණ භූමියෙන් පිටතට පැමිණ ගියේ තම ගම්රටවල් බලා පිටත් වීමට බසයක් ගැනීම සඳහා බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළටය.
ඒ උදෑසන 10.45 ට පමණය. ඔවුන් උසාවියේ සිට බස් නැවතුම්පොළ වෙත පැමිණෙනතෙක්ම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන් ලුහුබැඳි බව ඔවුන් දැන සිටියේ නැත.
මොවුන් සිවු දෙනා බැස්ටියන් මාවත බස් නැවතුම්පොළට යන තැනම පසෙකට වී සිටියහ. ඒ අවස්ථාවේදී එම ස්ථානයට ආවේ යතුරුපැදියකි. එහි පුද්ගලයෝ දෙදෙනෙක් සිටියහ.
යතුරුපැදිය නවතනවාත් සමග පිටුපස සිටි පුද්ගලයා ටී-56 වර්ගයේ ගිනි අවියක් එළියට ගත්තේය.
ඔහුගේ ඉලක්කය හිටපු කොමාන්ඩෝ සෙබළු තිදෙනාය. යුද බිමේ කෙතරම් මරුවාගෙන් බේරුනද මේ යහළුවන්ට ටී-56 උණ්ඩයෙන් බේරීමක් නොවීය.
මේ වෙඩි තැබීමෙන් විරාජ් ලක්ෂිත එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූවේය. ඔහුගේ මිතුරා වූ ප්‍රදීප් සඳමාල් වෙඩි කාගෙන පැන ගත්තේය.
මොවුන්ගේ මිතුරෙකු වූ අධිකරණයට පැමිණි අනෙක් සැකකරු දිවගොස් සැඟවී තිබිණි. මේ වෙඩි තැබීමත් සමග බැස්ටියන් මාවත බස් නැවතුම්පළේ සිටි සියලු දෙනාම දැඩි භීතියකට පත්වූයේ ඊළඟ වෙඩිල්ලට තමා බිලිවේදැයි බියෙනි.
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන සිටි මෙම වෙඩික්කරුවන් දෙදෙනා ප්‍රහාරයෙන් පසු අධික වේගයෙන් ඕල්කට් මාවත ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය, යෝර්ක් වීදිය හරහා ඩී.ආර්. විජයවර්ධන මාවත ඔස්සේ මරදාන ගාමිණි හෝල් අසලින් පලාගියෝය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශන මගින් ඒ බව හෙළිවී ඇත. එහෙත් ඒ කිසිදු තැනකින් ඔවුන් අල්ලා ගැනීමට නොහැකිව තිබුණි.
ඒ මෙවැනි වෙඩි තැබීමක් වූ බව අතරමග සිටි පොලිස් නිලධාරීන්ට සන්නිවේදනය නොවීම නිසාය. මොවුන් පැමිණි යතුරුපැදියේ අංකයට කිසිදු වාහනයක් ලියාපදිංචි වී නොමැති ව්‍යාජ අංකයක් බවද අනාවරණය වී තිබේ.
මේ නිසා මේ තාක් මේ වෙඩි තැබුම කළේ කවුරුන්ද කාගේ කොන්ත්‍රාත්තුවකටද කාගේ උවමනාවකටද කුමන හේතුවකටද යනවග මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නැත.
එනමුත් සැක සහිත තැන් රාශියක් ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුවන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් ප්‍රකාශකයකු සඳහන් කළේය. මොවුන් විසින් කර ඇති අපරාධවලට පළියක් ලෙස මෙය සිදුවූයේද එසේත් නැතිනම් 2017 වසරේදී වූ සිදුවීමට අදාළව මෙම ඝාතනය කර ඇත්ද සොයා එම විමර්ශන සිදුවන බවද එම ප්‍රකාශකයා කීවේය.
මෙම නඩුවේ පැමිණිලිකරු වූ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අවන්හලේ හිමිකරු මහනුවර නගරයේ පිහිටි හෝටලයක කලක් සේවය කර තිබුණි.
එම කාලයේදී අදාළ හෝටල් හිමිකරුගේ බිරිඳ හා එක්ව හිමිකරු ඝාතනය කළැයි කියන චෝදනාවකට අදාළව මොහුට එරෙහිව මහනුවර මහාධිකරණයේ නඩුවක්ද විභාග වන බව පැවසේ.
පසුකාලයේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති කාන්තාවක හා සම්බන්ධ වන මොහු ඇයගේ ව්‍යාපාරවල කළමනාකාරිත්වයක් දරා තිබේ.
අදාළ ව්‍යාපාරික කාන්තාව හා ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගනිමින් ඇයගේ ව්‍යාපාරවල බලයද මෙම පුද්ගලයා විසින් ලබාගෙන තිබූ බව චෝදනා එල්ල විය.
ව්‍යාපාරික කාන්තාවගේ සැමියා සහ ඔහුගේ රියැදුරු අතුරුදන් කිරීමේ නඩුවක්ද මොහුට එරෙහිව පවතින බව පැවසේ. ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ මේ වනවිට හොරණ ප්‍රදේශයේ ජීවත් වන බවද පොලිස් විමර්ශකයන් විසින් තොරතුරු රැස්කරගෙන ඇත.
මේ අපරාධය තවමත්ව අබිරහසකි. එනමුත් ප්‍රහාරයෙන් පසු එළියට පැමිණ ඇත්තේ පොලිසියේ හෙලුවය.
ලංකාවේ පොලිසිය නවීන තාක්ෂණික මට්ටමින් ඇත්තේ කොතනද වග මුළුමහත් සමාජයටම ප්‍රහේලිකාවක් බවට පත්ව අවසන්ය.
මහදවල් දෙනෝදහක් බලා සිටියදී අපරාධකරුවන් දෙදෙනකු පුද්ගලයන් තිදෙනකු ඉලක්ක කර වෙඩි තබා ලංකාවේ වැඩිම ආරක්ෂාවක් ඇති ප්‍රදේශ ගණාවක් අයත් කොළඹ නගරයේ ප්‍රධාන පාරවල්වලින් යනතෙක්ම ඔවුන් අල්ලා ගැනීමට තරම් පොලිසිය ශක්තිමත් නොවීය.
එමෙන්ම එම අපරාධය වූයේ පොලිසියේ දහසකට වැඩි පිරිසක් සිටින කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් පැය විසිහතරේම රාජකාරි කරන කොළඹ පොලිසිය ඉදිරිපිටදීය.
එමෙන්ම මොවුන් වෙඩි තබා පලා ගියේ මේ දිනවල ගාලු මුවදොර පිටියේ අරගලය හේතුවෙන් යෝර්ක් වීදියේ හා බැංකු මාවත අසළ ආරක්ෂාවට යොදවා සිටි සිය ගණනක පොලිස් නිලධාරීන් පොලිස් බල ප්‍රදේශ තුනක් පසුකරගෙනය. එතකන් පොලිසිය බකංනිලා බලා සිටීම මහා පුදුමයකි.
මෙවැනිම ආකාරයෙන් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මීට මාස කිහිපයකට පෙර බොරැල්ල නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට වෙඩි තබා රුපියල් ලක්ෂ 16 කට අධික රන් භාණ්ඩ කොල්ල කා පලායාමක්ද වාර්තා වූ අතර එම අපරාධයේ සුලමුල සොයාගැනීමටද මාසයකට වැඩි කාලයක් ගතවී තිබුණි.
හැබැයි ඒ ජනාකීර්ණ වුණත් පොලිසිය නැති තැනකදීය. එනමුත් ලංකාවේ ප්‍රධාන බස්නැවතුම්පොළක තත්ත්වය මෙසේ නම් සෙසු තැන් ගැන කවර කතාද.
පොලිසිය ඉස්සරහ වෙඩි තියලත් වෙඩිකරුවෝ නිරුපද්‍රිතව පැන ගිහින්
ඝාතනය වූයේ හිටපු කොමාන්ඩෝ සෙබළෙක්.
එෆ්. අස්ලම් (aruna.lk)
0 Comments