අලුත් ආණ්ඩුවක් ආවා කියා හෙට ඉන්ධන නොලැබෙන බවත් මාසයකින් හෝ ලැබෙයි කියා කියන්නට බැරි බවත් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.
දෙරණ නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක දී හෙතෙම අදහස් පල කරන ලදී.
“පසුගිය රජයවල් දෙකම විසින් යම්කිසි ආකාරයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා, ප්‍රතිසංස්කරණ කරලා, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාමාර්ගයෙන් පිට වෙන පැත්තකට යන්න උත්සාහ කළොත් මේ රට තවත් අමාරුවේ වැටෙයි. පළමුවෙනි ම පණිවුඩය තමා මට කියන්න තියෙන්නේ, ඒ ගිය මාර්ගයේ හැකි ඉක්මනින් ගිහින් ඉවර කරලා, තමයි රට මෙතැනින් උඩට තියන්න පුළුවන්. වෙන දේවල් අත්හදා බලන්න ගියොත් එහෙම මේ වගේ වේලාවක මේ රට බරපතළ තත්ත්වයකට එන්න පුළුවන්. දෙවැනි එක තමා මේක ජනතාවට දැනුවත් කරන්න ඕනේ මේ ප්‍රශ්නය ගැන. අලුතින් ආණ්ඩුවක් ආවා කියලා හෙට තෙල් ටික හම්බවෙන්නේ නෑ. මාසයකින් තෙල් හම්බවෙයි කියලා කාටවත් කියන්න බෑ. මේකෙ තියෙන ප්‍රශ්නය පැහැදිලි කරලා දීලා, මේකට විසඳුම මේකයි කියලා ජනතාව එක්ක ඉදිරියට යන එක තමා එන ආණ්ඩුවට කරන්න තියෙන එකම දේ.”
ඉදිරි කාලයේදී තවදුරටත් දුෂ්කරතාවට මුහුණදීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසුවේය.
ප්‍රශ්නය – අගමැතිවරයා කිව්වා අමාරු කාලය තවම ඇවිල්ලා නෑ කියලා. ඔබතුමාගේ තක්සේරුව කුමක් ද?
“ඒක රඳා පවතින්නේ කරුණු කිහිපයක් මත. ඇත්ත වශයෙන්ම දැනට තියෙන ප්‍රධාන දේ තමා අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය නොමැති නිසා අවශ්‍ය ප්‍රමාණයට තෙල්, බෙහෙත් රටට ගේන ඒක අමාරු වීම. එතකොට ඉදිරි කාලය තුළ අපිට තියෙන විදෙස් විනිමය ආදායම සහ වියදම කළමනාකරණය කරගෙන ගියොත් යම් ආකාරයකට මේ මට්ටමින් කරගෙන යන්න පුළුවන්. නමුත් දිගටම මේ වගේ ආනයනය කරන්න ගියොත් අපිට තෙල්වලට තියෙන මුදල් ටික නැතිවෙලා මීටත් වඩා හිඟ තත්ත්වයකට එන්න පුළුවන්. අනෙක් අතට කෙටි කාලීනව ඉන්දියාවෙන් හෝ උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි ආකාරයක විදෙස් විනිමය ප්‍රමාණයක් ලැබුණොත් මීට වඩා හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්.”
දේශපාලන අස්ථාවරත්වය පැවතීම අර්බුදය තවදුරටත් දීර්ඝ වීමට හේතු සාධක වන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.
“ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. එකක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා සර්ව ආර්ථික ස්ථායිකරණය පිළිබඳ වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් අවශ්‍යයි දැන්. ඒක තමා තියෙන එකම මාර්ගය. අපේ ණය බර වැඩිවීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරගෙන යනවා. එතෙකොට මේ ක්‍රියාමාර්ග කරගෙන යනකොට ඒ සම්බන්ධයෙන් වැදගත් ආර්ථික තීරණ ප්‍රතිපත්ති තීරණ ගැනීමට මුදල් ඇමතිවරයෙක් ඉන්නවා නම් කැබිනට් මණ්ඩලයක් ඉන්නවා නම් පාර්ලිමේන්තුවක් තියෙනවා නම් ක්‍රියාත්මක වෙනවා. එහෙම තියෙද්දි තමා අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරගෙන යනකොට ටික කාලයකින් එක සැරේටම රජය වෙනස් වුණා. දැන් ආයම වෙනස් වුණා. මේක ප්‍රමාද වෙන්න, ප්‍රමාද වෙන්න අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කරන්න තියෙන කාලය තව දික්වෙනවා. ඒ තුළින් ජනතාවට දැනට ආර්ථික අර්බුදයෙන් විඳීමට සිදුවන දුක්ගැහැට විඳීමට යන කාලයත් තවදුරටත් දික්වෙනවා.”
– දෙරණ


0 Comments