අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ මාතෘ භූමිය මින් පෙර කිසි කලකත් නොවූ ආර්ථික බංකොලොත්භාවයට පත් වීම නිසා ජනතාවට අපමණ දුක් පීඩා විඳීමට සිදුව ඇති බවයි.
මේ තත්ත්වය තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අද අප රට පත් වී ඇති උග්‍ර අර්බුදකාරී, අසහනකාරී, තත්ත්වයට ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ගන්නා ලද අදුරදර්ශී අත්තනෝමතික තීරණ සෘජුවම බල පෑ බව පිළිගත යුතු බවයි.
ජනතා මුදල් සහ රටේ දේපළ දූෂිත සහ වංචා සහගත ලෙස කොල්ල කමින්, ජනතාව සූරා කමින්, ගෙන ගිය මුරණ්ඩු සහ මර්දනකාරී, වැඩ පිළිවෙල මුල සිටම පිළිකුලෙන් යුතුව හෙළා දුටු අතර මේ වන තුරුත් එම දූෂණ සහ වංචා පිළිබඳ විනිවිද භාවයකින් සිදු වූ කිසිදු විමර්ශනයක් හෝ වරදකරුවන්ට දඬුවම් දීමක් සිදු වී නොමැති වීමත් බරපතළ කනගාටුදායක තත්ත්වයක් බවත් එම නිවේදනයේ සඳහන්.
එබැවින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටින්නේ රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා සහ රජයට තවදුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බැවින් රට වැටී ඇති මෙම ඛේදනීය තත්ත්වයට වගකීම භාර ගෙන තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර තම තනතුරු වලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙසයි


0 Comments