නුවර රන්දෝලි පෙරහර නරඹන්න පුටුවක් රු.10,000යි..
August 08, 2022
දළදා පෙරහර නැරඹීමට එන ජනතාව සඳහා මහනුවර මහ නගර සභාව මගින් ක්වින්ස් කොරිඩෝවේ යොදා තිබෙන පුටු නගර සභාව මගින් නියම කළ මිල ගණන්වලට නොවිකුණා ජවාරම්කරුවන් හා එක්ව ඉහළ මිලට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් ඇත.
මෙවර ක්වීන්ස් කොරිඩෝවේ පුටු දැමීම සඳහා පෞද්ගලික අංශයට බදු නොදී නගර සභාව මගින්ම එම තටයුත්ත සිදු කරන්නට තීරණය කර තිබිණි.
ඒ අනුව නගර සභාව සාධාරණ මිල ගණන්වලට පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට පුටු අළෙවි කිරීමට පියවර ගෙන තිබූ නමුත් පෙරහර වීදී සංචාරය ආරම්භ වීමත් සමඟ එම කටයුත්ත ජාවරම්කරුවන් අතට පත්ව ඇත.
පෙරහර පුටු මිලට ගැනීම සඳහා නගර සභාව මගින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකතන අංක වලට කතා කිරීමේදී ඔවුන් පවසන්නේ පුටු සියල්ල අලෙවි වී අවසන් බවයි.මහනුවර පුද්ගලයින් කිහිප දෙනකු පුටු සියල්ල මිලට ගෙන තිබෙන බැවින් ඔවුන් ගෙන් පුටු මිලට ගන්නා ලෙස නගර සභා සේවකයින් දැනුම් දෙන්නේ අදාළ පුද්ගලයින්ගේ දුරකතන අංකද ලබා දෙමිනි.
එම අංකවලට කතා කිරිමේදී කුඹල් පෙරහර නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 7,000 ක්ද රන් දෝලි පෙරහරක් නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 10,000 ක්ද අය කරන බව පවසයි.
නගර සභාව මැදිහත්ව සිදුකළ යුතු පෙරහර පුටු අලෙවිය ජාවාරම්කරුවන් අතට පත්වීම සම්බන්ධව මහනුවර ජනතාව අප්‍රසාදය පළකර සිටිති.
මේ සම්බන්ධව වහා සොයා බලා පියවර ගන්නා බව මහනුවර පුරපති කේසර සේනානායක ප්‍රකාශ කළේය.
0 Comments