සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා 8 වනදා සියලුම පක්ෂවලට ලබාදෙයි..
August 06, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලබන සඳුදා (08) වනවිට එම යෝජනා ලබාදෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අතර අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට නම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලුදෙනා යළි ඒකරාශී වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහජන සභාව සමග ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් සමග මේ වනවිට සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙනඒම සහ රටේ සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව සඳහන් කරයි.
ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග පමණක් තවම සාකච්ඡා කිරීමට ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“අරගලකරුවන් කියන්නේ එක කණ්ඩායමක් නෙවේ. කණ්ඩායම් ගණනාවක්. ඒ සියලුදෙනා මට විරුද්ධ නැහැ. අරගලයේ නිරත පිරිසක් අදත් පැමිණ සාකච්ඡා කළා. සාමකාමී අරගලකරුවන් සියලුදෙනා අපිත් සමග සාකච්ඡා කරනවා. විරුද්ධ අයත් ඉන්න පුලුවන්. ඒත් සියලුදෙනා අපිට විරුද්ධ නැහැ.”
“මොවුන් ඉතා නිර්මාණශීලි අය බව කිව යුතුයි. මම එය අගය කරනවා. ඒත් ඇතැම් වෙලාවක අරගලය ප්‍රචණ්ඩත්වයට ගියා. අපි ඒක පිළිගන්න ඕන, උදේ මමත් එක්ක සාකච්ඡා කළ අය ප්‍රකාශ කළේ ප්‍රචණ්ඩත්වය නිසා තමන් අරගලයෙන් ඉවත් වු බවයි. සංවිධාන ගණනාවක් එහෙම කියනවා.”
0 Comments