අරගලය තුළින් මේ වනවිට සමාජයේ දේශපාලන බලවේග, සිවිල් බලවේග මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද මෙරට සක්‍රීය දේශපාලනය සඳහා සම්බන්ධ වී ඇති බවත් ඔවුන්ගේ එකම අරමුණ අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට නැවත ස්ථාවර කිරීම උවත් මේ වනවිට රජය ගෙනගන මර්දනකාරී ක්‍රියාපටිපාටිය හමුවේ එය ක්‍රියාවට නැංවීමේ ගැටලුවක් ඇතිව තිබෙන බව 43 සේනාංක සභාපති කරු පරණවිතාන මහතා අවධාරණය කරයි.
රජය ගෙනයන මර්දනය හමුවේ සර්ව පාක්ශික ආණ්ඩුවක අස්ථාවරත්වය හා මේ මොහොතේ නොබැදි / සම මිතුරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලයුතු හේතු පිළිබඳව සඳහන් කරමින් 43 සේනාංකයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවකදී ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු පරණවිතාන මහතා…
“අද අතරමැදි විසඳුමක් හොයන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම එක හඬින් ඉල්ලා සිටින කාරණාව තමයි අරගලකරුවන් ඉලක්ක කරගනිමින් කරන්නා වූ මේ මර්දනය වහාම නවත්තන්න කියන එක. ඒක සංවිධානය හැටියට අපි සියලු දෙනාම ඉල්ලුවා. විපක්ෂයේ දේශපාලන පක්ෂය ඉල්ලුවා. ආගමික ප්‍රජාව ඇතුළු සිවිල් කණ්ඩායම් ඉල්ලුවා. අරගලයේ නියැලිලා ඉන්න තරුණ කණ්ඩායම්, අරගලකරුවෝ ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ලංකාවේ මේ අර්බුදය සම්බන්ධයෙන් සංවේදීව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් සංවිධානය. ඒ සියලු දෙනාම ඉල්ලා සිටින්නේ මේ අරගලකරුවන් ඉලක්ක කරගෙන යන මේ අසාධාරණ, අයුක්තිසහගත, මර්දනය වහාම නවත්තන්න කියලා. ඒ වගේම තමයි හදිසි නීතිය යොදාගෙන මේ කරන මර්දනය වහාම නවත්තන්න කියන එක. අපි මේ ඉල්ලා සිටින්නේ මේ රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න එපයි කියන කාරණාව නෙවෙයි.
මේ පසුගිය කාලයේ මතුවුණු ජනතා අරගලය ඒක අවසන් වෙලා නැහැ. එය පැහැදිලිවම සමාජ චර්යාය බිඳ වැටීම නිසා ආර්ථිකය බිඳ වැටීම නිසා, ජනතාවගේ පීඩනය උත්සන්න වීම නිසා, ජනතාවගේ පීඩනය උඩට ආපු අරගලයක්. එහෙම නැතුව කවුරුත් චේතනාන්විතව අපරාධ කරන්න ආපු අරගලයක් නෙවෙයි. යම් යම් මුල්‍ය අපරාධ මේ රටේ සිද්ධ වෙච්ච නිසා, ආර්ථික අපරාධ මේ රටේ සිද්ධ වෙච්ච නිසා, ආර්ථික ඝාතනයන් මේ රටේ සිද්ධ වෙච්ච නිසා, පොදු ජනතාව විපතට පත්වීම නිසා පොදු ජන හඬ මතු වෙච්චි අවස්ථාව තමයි මේ අරගලය.
දැන් අරගලකරුවන් ඉලක්ක කරගෙන ඉතාම චිරස්ථීන මර්දනයක් දියත් වෙලා තියෙනවා. රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවයි කියලා ඊනියා ෆැසි මුවාවෙන් ලොකු මර්දනයක් දියත් වෙනවා. අද මේ මර්ධනය දියත් වෙලා තියෙන්නේ කාටද? මේ රටේ මේ ජනතාව දැනුවත් කරපු ස්වාධීන මාධ්‍යකරුවන්ට, සමාජ මාධ්‍ය කරුවන්ට එරෙහිව අද මර්ධනය දියත් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් රටේ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පෙලේ පුවත්පත් මාධ්‍ය ක්‍රියාකාරී තරිඳු උඩුවගෙදර මහතාට. ඔහු යූ ටියුබ් මගින් සහ ලිපි ලේඛන මගින් ජනතාව දැනුවත් කරන සන්නිවේදනය කරන මාධ්‍යකරුවෙක්. ඔහුට ඉදිරිපත් කරලා තියෙන චෝදනාව තමයි රජය විවේචනය කිරීම. ඔහුව නීතිය හමුවේ උසාවියට කැඳවනවා. ඉතින් මේ රටේ රජය විවේචනය කරන්න පුළුවන්නේ. රජය විවේචනය බැහැ කියලා මේ නීතියක් නැහැනේ.
ඉතින් අන්න ඒ වගේ ඉතාමත්ම විහිලු සහගත චෝදනා දාලා තියෙනවා. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්දනය කරන්න හදන්නේ අපි දන්න තරමට ජෝසප් ස්ටාලින් මහත්තයා. එහෙම නැත්නම් අර ලංකා බැංකුවේ අත්අඩංගුවට ගත්තු ධනංජය මහත්මයා, අර අරගල භූමියේ හිටපු තරුණයෝ සසිඳු, එරංග වගේ අය. සසිඳු අර පුස්තකාලයේ බලාගෙන හිටපු තරුණයෙක්. ඒ තරුණයාව අත්අඩංගුවට ගන්නවා. ඇත්ත ආර්ථික ඝාතකයෝ, මේ අර්බුදයට රට ඇදලා දාපු, මුල්‍ය පනත් උල්ලංඝනය කරපු, තමන්ගේ වගකීම පැහැර හැරපු ඒ කිසි කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ මර්ධනය අද වෙනකනුත් නවත්තලා නැත්නම් අපි කියා සිටිනවා ඒ පසුබිමක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නමින් ඔය ඇත්ත සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සියලුම විපක්ෂයේ පක්ෂ හැමදෙනාම එක හඬින් ප්‍රකාශ කරලා තිබෙනවා මේ මර්ධන වහාම නවත්තන්න කියලා. හැබැයි ඒක කෙරෙන්නේ නැත්නම් ඔය වචනයේ ඇත්ත අවංක සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න බැරිවෙනවා කියන එක අපි කියන්න කැමතියි.
වහාම මේ විහිළුකාර මර්දන ක්‍රියාවලිය නවත්තන්න, මේකෙන් මිනිස්සු තව කෝපයට පත්වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා පැහැදිලිවම ආණ්ඩුවට දැනුම් දීලා තිබෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න. මේ හදිසි නීතිය යටතේ මේ අය අසාධාරණ අත්අඩංගුවට ගැනීම් කරන්න එපා කියලා. අද නැවත වතාවක් හියුමන් රයිට් වගේ සංවිධාන ජනාධිපතිතුමාට ලියුම් ලියලා ප්‍රකාශ කරලා තිබෙනවා මේ කෙරෙන මානව හිමිකම් කඩවීම් ක්‍රියාවලිය වහාම නවත්තන්න කියලා. නමුත් අපට පෙනෙනවා. මේ ඊයේ වෙනකනුත් සමාජ මාධ්‍යකරුවන්, අරගලකරුවන් පස්සේ හඹා යෑම නවත්වලා නැහැ. නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න නම් මේක මූලික කොන්දේසියක්. අපේ සහයෝගය ලබාදීමට කලින් අපි ප්‍රකාශ කළා සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි වෙන්නට නම් මේ මර්දන ක්‍රියාවලිය වහාම නවත්වන්න. මම හිතන්නේ නැහැ කිසිම විපක්ෂයේ දේශපාලන පක්ෂයක් මෙවැනි මර්දන ක්‍රියාවලියක් දියත් කරන ආණ්ඩුවක ඉල්ලීමට කන් දීලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න එයි කියලා.
ඉන් අනතුරුව 43 සේනාංකයේ මුදල් ලේකම් සුමේද රත්නායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අරගලයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලය අතහැර ගිය පසු එම අරගලයට සම්බන්ධ වූ තරුණ තරුණියන්ගේ සිත් තුළ පැවතියේ රටේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ඇතිකොට නැවත රට යහපත් තැනකට ගැනීමේ අරමුණ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේද රත්නායක මහතා…
“නමුත් දැන් මේ මොහොතේ සිද්ධ වෙන දේවල් වලින් අපිට තේරෙනවා, ඔවුන් සමඟ කතා කරනකොට ඔවුන් මේ සමාජ මාධ්‍ය වල ලියන දේවල් වලින් ඔවුන් නැවතත් කෝපයට පත් වෙමින් සිටිනවා. ඔවුන් මේ රජයක් ගැන, ඉදිරි වැඩ පිළිවෙලක් ඇති කර ගැනීමට හැකියාව ලැබේද කියලා නැවත සැකයක් සිත් තුල ඇති කර ගනිමින් තිබෙනවා කියලා. ඉතින් අපිත් හිතනවා මේ සර්ව පාක්ෂික රජයක් ගොඩනැගිය යුතුයි. එයින් තමයි අද මේ අපි පත්වෙලා තිබෙන ආර්ථික අර්බුදය, ඒ වගේම දේශපාලන අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා.
ඉතින් අපේ විපක්ෂයේ සිටින බලවේග අද බලාපොරොත්තු වෙනවා මේ රජයට සහය දීලා මේ කමිටු තුළට ඇවිල්ලා, රජයත් එක්ක කටයුතු කරලා, විවේචනයෙන් ඔබ්බට ගිහිල්ලා, ක්‍රියාකාරීව මැදිහත් වෙලා ඒ තමන්ගේ වගකීම සහ යුතුකම ඉෂ්ට කිරීම සඳහා. නමුත් මේ විදිහට කටයුතු සිද්ධ වුණොත්, අපිට දැන් නැවතත් පෙනෙන්නට පටන් අරගෙන තියෙනවා, බොහෝ විපක්ෂ බලවේග කියන්නට පටන් අරගෙන තියෙනවා, අපි රජය තුලට සෘජුව එන්නේ නැහැ. ඒ වෙනුවට රජයෙන් එළියේ සිටිමින්, රජයට සහයෝගය දක්වනවා කියලා. අපි හිතන්නේ නැහැ මේ වගේ කටයුතු වලින් රට පත්වෙලා ඉන්න දරුණු තත්වයට අපිට විසඳුම් සොයාගන්නට පුළුවන් කියලා.
ලබන සැප්තැම්බර් මාසය වෙනකොට මානව හිමිකම් කොමිසමට නැවතත් ශ්‍රී ලංකාව පිළිබඳ කතා කිරීමට සිද්ධ වෙනවා ඒ සැසියේදී. ඉතින් මේ වගේ මානව හිමිකම් කැඩීම් රට තුළ සිද්ධ වුණොත් මානව හිමිකම් සැසියේදිත් ශ්‍රී ලංකාව ගැන තීන්දු ගන්න පුළුවන්. ඒ වගේම ජී එස් පී ප්ලස් ගැන තීන්දු ගන්න පුළුවන්. එහෙම දේවල් සිද්ධ වුණොත් එහෙම අද කඩා වැටිලා තිබෙන ආර්ථිකය තවදුරටත් කඩා වැටීම තමයි සිද්ධ වෙන්නේ.
දැන් අපිට මේ මොහොතේ දකින තවත් දෙයක් තියෙනවා.අර අපිට ඉතාම ළඟට ඇවිත් තිබෙනවා අර චීනයේ ඉදන් එන නැවක්. ඉතින් මේ චීන නැව ලංකාවට පැමිණීම ගැන විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉන්දියාව සහ චීනය අතර ගැටුමකට ඒ කියන්නේ අතරමැද ඉන්න රට බවට අපි පත්වෙලා තියෙනවා. මේ මොහොතේ අපි හතළිස් තුන්වැනි සේනාංකයේ අනාගත විදේශ ප්‍රතිපත්ති විදිහට අපි දකින්නේ සම මිතුරු විදේශ ප්‍රතිපත්ති. සම මිතුරු විදේශ ප්‍රතිපත්තියක් කියන්නේ සෑම රටකටම එක සමානව සැලකිය යුතුයි කියන එක. ඉන්දියාව සහ චීනය තමයි අපේ ඉතාම ළගම මිතුරන් දෙදෙනා. ඉතින් චීනය අපිට පහුගිය කාලයේ ඉතා විශාල වශයෙන් උදව් උපකාර කරා. චීනය ලබා දුන්නු ණය වලින් ඩොලර් මිලියන නමසිය විසි තුනක් අපි මේ වසරේ චීනයට ගෙවන්න තියෙනවා. ඒ වගේම අන්තර්ජාතික අරමුදල, අයි එන් එෆ් එක, ණය ප්‍රතිව්‍යුහ ගතකරන්න කියනකොට චීනයේ දායකත්වය ඒකට ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේමයි ඉන්දියාව අපි මේ පත්වෙලා ඉන්න ඉතාම අර්බුදකාරී මොහොතේදී අපේ ළඟට ඇවිල්ලා අපිට ඉතාම විශාල වශයෙන් උදව් කරනවා. ඒ නිසා අපි දකිනවා, මේ ගැටළුවට මේ මොහොතේ ඇතිවෙලා තිබෙන්නෙත් ආණ්ඩුව පැත්තෙන්, රජය පැත්තෙන් ඇතිවෙලා තිබෙන සන්නිවේදන ගැටලුවත් ඒක ඉතා ඉක්මනින් කළමනාකරණය කරගත යුතු සන්නිවේදන ගැටලුවක්. ඒ නිසා මේ නැව ගැන ඇතිවෙලා තිබෙන මේ ජාත්‍යන්තර ගැටළුවට චීනය සමඟ ඇතිවෙලා තියෙන ගැටලුවත්, අපි හිතනවා රජය ඉතාම හොඳින් කළමනාකරණය කරමින් මේ රටවල් දෙකේම සිත් නොරිදෙන ආකාරයට මනාව කළමනාකරණය කරයි කියලා.
ඉන් අනතුරුව හතළිස් තුන සේනාංකයේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.
“රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් වැඩි බහුතරයකින් ජනාධිපති වෙලා දිවුරුම් දීලා සැනෙකින් ම කළේ අරගලකරුවන්ට පහර දීම. ඒකට රජයේ නිල හමුදා පමණක් නෙමෙයි අපි දැක්කා නිල නොවන හමුදාත් මැදිහත් වෙනවා. එතකොට අපිට පේනවා අර රාජපක්ෂ පාලනය කාලේ තිබිච්ච නිල නොවන මැර හමුදා, කුලී හමුදා, තාමත් ක්‍රියාත්මකයි කියන එක අපිට පේන්න තියෙනවා. ඊළඟට මොකක්ද උනේ? හදිසි නීති රෙගුලාසි පැනවීමක් තමයි සිද්ධ වුණේ. ඒ හදිසි නීති රෙගුලාසි පනවලා, ඊට පස්සේ, අපි දැක්කා පක්ෂ කාර්යාල වටලන්න ගත්තා. පෙරටුගාමී පක්ෂයේ කාර්යාලය වැටලුවා. ඒ වැටලීමට විවිධ අන්දමින්, සිවිල් ඇඳුමෙන් සැරසිච්ච කණ්ඩායම් ගිහිල්ලා ඒ පක්ෂ කාර්යාල පරික්ෂා කරන්න ගත්තා.
ඒ වගේම අපිට පේනවා, අරගලය මුවාවෙන් සමහර ආයතනික ප්‍රධානීන්, පොලිස් ඇමතිවරයා මුල් කරගෙන තමන්ගේ පෞද්ගලික වෛරය පිරිමහන්න විවිධ වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම් කරගෙන යනවා. ඔවුන්ට අඩත්තේට්ටම් කරන්න යනවා. ඒ වගේම ආයතන තුළ විනය පරීක්ෂණ ඇති කරලා ඔවුන්ව මර්දනය කරන්න සූදානම් වෙනවා. එතකොට මේ මොකක්ද වෙමින් පවතින්නේ? රට මේ ආර්ථික අගාධයට ගෙන ගිය නිසි වෙලාවට තීරණ තීන්දු නොගත් නිලධාරීන්ට අද කිසිම මර්දනයක් නැහැ. සමහරවිට ඔවුන්ගේ දරුවෝ, ඒ දේශපාලඥ දරුවෝ පවුල් පිටින් මේ රටින් පිටවෙලා, අද සුඛ විහරණ ලබමින් ඉන්නවා. එතකොට මේකද අපි බලාපොරොත්තු වෙච්ච දේ? අද මේ රටේ මේ ප්‍රශ්නේ විසඳන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාදායකය තුළ මහජන සභාවල් නිර්මාණය කරන්න ඒ වගේම අධීක්ෂණ කාරක සභා තුළ මන්ත්‍රීවරුන්ගේ සෑම දේශපාලන පක්ෂයකගේම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගන්න සාකච්ඡා වෙන්න. නමුත් මොකක්ද මේ දේශපාලන සංහිඳියාවේ ඇත්තටම මේ සංහිඳියාවක් මෙතනින් ඇති වෙනවද? එය ප්‍රශස්ත සංහිඳියාවක් බවට පත් වෙයිද කියන බරපතල ප්‍රශ්නයක් අපට මතුවෙමින් පවතිනවා. රටේ ජනමතයට ඉඩ දීලා, මේ සියලු ගැටලු නිරාකරණය කරන්න පුළුවන්, දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ සැබවින්ම අද පාර්ලිමේන්තුවේ ඉන්න මේ පක්ෂ, විපක්ෂ සියලු දෙනා එකතු වුණොත් විතරයි. නමුත් අපිට දැන් ආරංචි වෙනවා, එදා ඒ පාර්ලිමේන්තු ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙච්ච ඩලස් අලහප්පෙරුම මැතිතුමාට සහයෝගය දක්වපු පොහොට්ටුවේ පක්ෂයේම මන්ත්‍රීවරුන්ට අර යාපා බණ්ඩාර මන්ත්‍රීතුමාට, ඒ වගේම වෛද්‍ය තිලක් රාජපක්ෂ මන්ත්‍රීතුමාට මේ වෙනකොට මරණ තර්ජන කරන තැනට තත්වය දරුණු වෙලා තියෙනවා. ඔවුන් ඒ පිළිබඳ පොලිස්පතිට වාර්තා කරලා තියෙනවා. එතකොට මේ මොකක්ද එයා ඇතිකරමින් යන දේශපාලන සදාචාරය? පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න අරගලකරුවන් මර්දනය කරනවා වගේම මහජන ඡන්දයෙන් තේරිච්ච ඒ වගේම පාර්ලිමේන්තුව තුල රනිල් වික්‍රමසිංහට ඡන්දේ නොදුන්න රාජපක්ෂලගේ තීරණ වලට පටහැනිව ක්‍රියාකළ මන්ත්‍රීවරුන්ට අද තර්ජනය කරන තැනට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙහෙම ද, මේ රට ආර්ථික අගාධයෙන් බේරගන්න පුළුවන් තත්වයක් ඇතිවෙන්නේ මෙහෙම ගිහිල්ලද? මේ තත්වය තුල මොකද්ද මේ භේදය, වැපිරීම? මේ තත්වය තුල කොයි ආකාරයෙන්ද ඉදිරියට යන්නේ කියන එක බලවත් ප්‍රශ්නයක් අපිට මතුවෙමින් තියෙනවා.
ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඔඩොක්කුවේ හිටියට ඇත්ත වශයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවශ්‍ය වෙන්නේ මේ පුළුල් සම්මුතිය ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයයි . ඒ නිසයි අපි කියන්නේ කාටවත් බහුතර බලයක් නොදෙන පොදු හැමදෙනාගේම, විශේෂඥයන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, මහජන නියෝජිතයන්ගේ පොදු එකඟතාවය හැදෙන සම්මුතියකින් මේ ප්‍රශ්නය විසඳන්න ඕනෙයි කියන කාරණය. මේ රට වැටිලා තියෙන මේ අගාධය, මේ රටේ මිනිස්සු මුහුණ දීලා තියෙන බරපතල ප්‍රශ්න විසඳගන්න නම් ආණ්ඩුවක් හැටියට, රජයක් හැටියට, හොඳ ජාත්‍යන්තර ප්‍රතිරූපයක් ඕනේ. රට තුළ ඉන්න මහජන විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕනේ ඒ හා සම්බන්ධව හොඳ ප්‍රශස්ත සංවාදයක්, සම්මුතියක් ඇති කරගන්න ඕනේ.”
*පසුගිය දවස්වල ඔබතුමාලා යෝජනා කරලා තිබුණා. ඇත්තටම මොකක්ද ඒ පොදු සමාවක් දීම?
මේකේ මේ නීතිමය අර්ථයෙන් නෙමෙයි කියලා තියෙන්නේ. මේ කාටත් තේරෙන අර්ථයකින්. නීතිමය අර්ථය ගත්තොත් එහෙම මේ පොදු සමාව කියන දේවල් තේරුමක් නැහැ. පොදු ඒ කියන්නේ නීතිමය අර්ථයෙන් සමාව දෙනවා කියලා කියන්නේ වරදකට නඩු පවරලා, නඩු අහලා, වැරදිකාරයෝ අඳුරගෙන ඒ වැරදිකරුවන්ට දඬුවම් නොදී සමාව දෙනවා කියන එකනේ සමාව දීමේ කියන අර්ථය. මෙතන මේ කියන්නේ මේ සටනේ, මොනවා හරි නීතිය හා පිළිවෙල සම්බන්ධයෙන් අතපසුවීමක් අරගලකරුවෝ අතරින් සිද්ධ වෙලා තිබෙනවා නම් ඒවා උල්ලංඝනය වෙලා තිබෙනවා නම් ඒවා අමතක කරලා දාන්න කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු හදිසි නීතිය කඩාගෙන පෙළපාලි යනවා. එතකොට ඒක අයුතු ජන රාශිය තමයි. නමුත් ඒක අමතක කරලා දාන්න. මොකද ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක් නිසා තමයි මිනිස්සු පාරට බැස්සේ. ඒ නිසා අපි පොදු සමාව කියලා කියන්නේ මේ නඩු අහලා වැරදිකාරයෝ අඳුරගෙන ඉවරවෙලා ඒගොල්ලන්ට සමාව දෙන්න කියන එක නෙවෙයි. අපි කියන්නේ එහෙම නඩුකර ඉදිරිපත් කරන්නම එපා. නඩු කියන්න එපා. පරීක්ෂණ පවත්වන්න එපා. ඒ අරගලයට දායක වෙච්චි අය ඒ අයගේ හඬ ගන්න. ඒගොල්ලෝ කිව්වේ මොකක්ද කියලා අහන්න. විතරක් නෙවෙයි. මේ අනාගතයේදී මේ හදන්න හදන මේ සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුව ආණ්ඩුව බිම මහ පොළවේ හරියට ක්‍රියාත්මක වෙන්ඩ ඕනේ නම් මේ අරගල කරපු කණ්ඩායමත් එක්ක හෘදය සංවාදයක් ආණ්ඩුව කරන්නම වෙනවා. ඒක කරන්න බෑ මේ මිනිස්සුන්ට නඩු දාලා. හිරභාරයට අරගෙන පරීක්ෂණ පවත්වලා ඉවරවෙලා, මර්දනය කරලා එම නිසා ඒක අපි ඒ පරිච්ඡේදය අමතක කරන්න කියන යෝජනාවෙන් තමයි පොදු සමාව ඉදිරිපත් කරන්නේ.


0 Comments