මෛත්‍රීව නැත්තටම නැති කළ සමාජ මාධ්‍ය..
August 11, 2022
තමා ජනපති ධූරයට පත් කළා සේම ධූර කාලය අවසන් වීමට තිබියදී තම ප්‍රතිරූපය නැත්තටම නැති කර දැමීමට ද තරම් සමාජ මාධ්‍ය ප්‍රබල වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
ආණ්ඩු සෑදීමට මෙන්ම, ආණ්ඩු පෙරළා දැමීමටද සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හේතු වන බව ද ඔහු පැවසිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) වේබ් අඩවියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් හිටපු ජනපති මේ බව සඳහන් කළේ ය.
පසුගිය මැයි (09) වන දායින් ආරම්භ වූ අරගලය පවා කිසිදු නායකයෙකු නොමැතිව එතරම් ශක්තිමත්ව නැගී සිටියේ සමාජ මාධ්‍ය නිසා බව ද ඔහු පැවසීය.
මේ රටේ දහස් ගණනක් වූ තරුණයන්ගේ අත තිබූ ජංගම දුරකතනවල බලය හේතුවෙන් මේ රටේ පාලකයාට පවා රටින් පිට වී යාමට සිදු වූ බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේ ය.
අතේ කිසිදු මුදලක් නොමැතිව එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා බවට පත් වූ දා පටන් ම විවිධ පාර්ශ්ව සමග ගිවිසුම්වලට එළැඹුණ ද බලවේගයක් බවට පත්ව රාජ්‍ය නායකත්වයට පත්වීමට ඉවහල් වූයේ සමාජ මාධ්‍ය යැයි ඔහු පැවසීය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව බින්දුවටම ඇද වට්ටවා රටට එපාම කළ මිනිසෙකු බවට තමා පත් කළේ ද එදා බලයට පත් වීමට හේතු වූ සමාජ මාධ්‍ය විසින්ම බව ත් ඔහු කීය.
තම ආණ්ඩු සමයේ පැවති ජනාධිපති මාධ්‍ය අංශයේ බොහෝ නිලධාරීන් හොඳින් කටයුතු කළ ද දුර්වලතා රාශියක් පැවති බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
යහපාලන සමයේ කිසිදු මාධ්‍යවේදියෙකුට තර්ජනය කර නැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
2015 වසරට පෙර මෙරට පැවති ආණ්ඩු හා සැසඳීමේදී එම කාල වකවානුවේදී කෙතරම් මාධ්‍යවේදීන් රට හැර ගියා ද, මිය ගියා ද යන්න සහ අතපය කඩා ගෙන තුවාල ලැබුවා ද යන්න සිතා බැලිය යුතු බවත් ඔහු පැවසීය.
තම ආණ්ඩු සමයේ කිසිවෙකුටත් තුවක්කුවක උණ්ඩයක් එල්ල නොකළ බවද ඔහු අවධාරණය කළේය.
0 Comments