කොළඹ 300 වුණත් යාපනයේ පාන් 190යි..

 



තිරිඟු පිටි මිල වැඩිවීම නිසා කොළඹ ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල බේකරි හිමියන් පාන් රාත්තලක මිල රුපියල් 300 ක් දක්වා වැඩි කිරීමට සිදුවන බව පැවසුවත්, යාපනයේ පාන් මිල ඉහළ නොදමන බව යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමය සඳහන් කරයි.

යාපනයේ බේකරි හිමියන්ට ප්‍රීමා සමාගම විසින් තිරිඟු පිටි මිටියක් රුපියල් 12,500 ට සැපයීම නිසා තව දුරටත් පාන් රාත්තල රුපියල් 190 ට අලෙවි කරන බවද යාපනය බේකරි හිමියෝ කියා සිටිති.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තිරිඟු පිටි මිටියක මිල රුපියල් 20,000 ත් 25,000 ත් අතර මිලක් දක්වා කළු කඩ හිමියන් ඉහළ දමා තිබෙන බැවින් පාන් රාත්තලක් රුපියල් 300 ක් දක්වා ඉහළ දැමීමට සිදුවෙතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

ඉන්දියාවෙන් මේ වන විට තිරිඟු පිටි ආනයනය නතර කර ඇති නමුත්, වෙළෙඳ පොළේ ඉතිරිව තිබෙන තිරිඟු පිටි තොග කළු කඩ වෙළෙඳුන් විසින් හිතූ හිතූ මිල ගණන්වලට අළෙවි කරන බවද සභාපතිවරයා පැවසීය.

පාන් රාත්තලක මිල ඉහළ දැමීම සම්බන්ධව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණයක් ගෙන නැතත්, ඉහළ යන තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් රාත්තලක මිල වැඩි කිරීම සම්බන්ධව සංගමයේ විරෝධයක් නොමැති බවද ඔහු පැවසුවේය.

තිරිඟු පිටි හිඟය විසඳා පිටි මිටියක් රුපියල් 13,500 ට සපයනු ලබන්නේ නම් පාන් රාත්තල දැන් අලෙවි කෙරෙන රුපියල් 190 මිලටම පාරිභෝගිකයන්ට අලෙවි කළ හැකි බවත්, තිරිඟු පිටි මිල සහ අනෙකුත් බේකරි අමුද්‍රව්‍ය මිල අඩු කරන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50 කින් අඩුකළ හැකි බවද ඔහු කීවේය.

තිරිඟු පිටි සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් සහ වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් අද (05 වැනිදා) පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments