රජයේ රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් සහ රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් පනස්දහසක් ලබාගනිද්දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා ඇතුළු දෙදෙනකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (7 වැනිදා) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ නිලධාරීන් පිටකොටුව බස්නැවතුම්පොළ ඉදිරිපිට පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තෙස්ටා බේක් හවුස් අවන්හල තුළදී සැකපිට අත්අඩංගුවට ගත් කල්මුණේ, ආතයිකේට්ටේ, උරයපුලම් පදිංචි ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක මුළු දිවයිනටම සාම විනිසුරු මුහම්මදු කාසීම් මුහම්මදු අමීන් සහ ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් ආදුරුප්පුවීදිය එච්.පී.එස්. නවාතැන්පල ලිපිනයේ අහමුදු ලෙබ්බේ සෙයිනුල් ආබ්දීන් යන සැකකරුවන් දෙදෙනා එලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව අල්ලස් කොමිසමේ නීති නිලධාරී හර්ෂ ප්‍රේමරත්න අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
සැකකරුවන් මෙම 21 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල, එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.


0 Comments