ලබන ඉරිදා (11 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සහභාගි වන සුපිරි හතර වටයේ තරගය අද (09 වැනිදා) රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
පෙරේදා (7වැනිදා) පැවැති තරගයේදී පකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව තියුණු ජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර අවසන් මහා තරගයක් යෙදුණු අතර ඒ අනුව සුපිරි කණ්ඩායම් හතරේ අවසන් තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය අවසන් මහා තරගයේ පෙරහුරුවක් බවට පත්වනු ඇත.
ඇෆ්ගනිස්තානය සමග පැවැති අදාළ තරගයේ ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමම අද තරගයේදී පිටියට පිවිසෙන බව වාර්තා වන අතර ඉන්දියාව හමුවේ ජය ලද ශ්‍රී ලංකා කණ්ඩායමද කිසිදු වෙනසකින් තොරව අද තරගය සඳහා සහභාගි වන බව සැලවේ. ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා නොතිබුණ බව ඊයේ (08 වැනිදා) පස්වරුවේ අයි.සී.සී. ක්‍රිකට් ඇකැඩමියේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග පැවසීය.
‘අවසන් තරගය අනිද්දා පැවැත්වුණත්, අද පැවැත්වෙන තරගය ඒ සඳහා පෙරහුරුවක් ලෙස අපි ගන්නේ නැහැ. මොකද කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය නැතිකරගන්න අපිට වුවමණා නැහැ.’යි ඔහු එහිදී පවසන ලදි.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේත්, පාකිස්තානය මුහුණ දුන් පළමු තරගයේදී ඉන්දියාව හමුවේත් පරාජය වුවද, දෙපිළම මීළඟට සහභාගි වූ තරග තුනම බැගින් ජයගනිමින් අද තරගයට පිවිසීම කැපී පෙනේ.
අවසන් මහා තරග ඉතිහාසය
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 15ක් අතුරින් ශ්‍රී ලංකාව මෙවර අවසන් මහා තරගයට පිවිසෙන්නේ 12 වැනි වතාවටය. අවසන් වරට ශ්‍රී ලංකාව 2014 වසරේදී අවසන් මහා තරගයකට පිවිස ඇති අතර එහිදී පාකිස්තානය හමුවේ ඔවුන්ට කඩුලු පහක ජයක් හිමි විය.
ශ්‍රී ලංකාව මේ දක්වා 5 වතාවක් ශූරතාව හිමිකරගෙන ඇති අතර මෙතෙක් අවසන් මහා තරග 05කට පිවිස ඇති පාකිස්තානය ශූරතාව දිනා ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. වැඩිම ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ඉන්දියාව පැවැති තරගාවලි 15න් 7 වතාවක් ශූරතාව දිනා තිබේ.
දෙරටේ විස්සයි විස්ස හමුවීම්
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති විස්සයි විස්ස තරග 21කින් පාකිස්තානය තරග 13ක් ජයගන්නා අතරවාරයේදී ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන්ව ඇත්තේ තරග 08ක ජය පමණි.
ඒ අතරින් අද තරගය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මීට පෙර 2013 වසරේදී මොවුන් හමු වූ දෙවතාවකදී පැවැති පළමු තරගයේ ජය පාකිස්තානයටත්, දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවටත් හිමි විය.
එකී දෙවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් කඩුලු 03ක් දැවී ශ්‍රී ලංකාව රැස්කළ 211ක් වූ ලකුණු සංඛ්‍යාව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන් අදටත් නොනැසී පවතී.
පාකිස්තානයට එරෙහිව පළමු තරගාවලි ජය ගෙනාවෙත් දසුන්
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද (09 වැනිදා) විස්සයි විස්ස පිටියේදී එකිනෙකා හමුවන්නේ 2019 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුවය. පැවැති ආරක්ෂකමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් එම පාකිස්තාන සංචාරය මග හරින මොහොතක එදා දසුන් ශානක ප්‍රමුඛ අත්දැකීම් අවම ශ්‍රී ලංකා පිලක් ඒ සඳහා එක්විය.
දසුන් විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ මුල්ම අවස්ථාව වූයේද එයයි. එවර 3-0 කින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජය වාර්තා කළ අතර එය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි විස්ස තරගාවලි ජය වශයෙන්ද සටහන් වූයේය.
දෙපිලේ තුරුම්පු
අද තරගයේදී පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා පිලට සිදුවනු ඇත. මේ දක්වා තරග 4කට සහභාගි වී සිටින රිස්වාන් අර්ධ ශතක දෙකක්ද ඇතුළුව මුළු ලකුණු 212ක් රැස්කරගෙන සිටින්නේ ආසියානු කුසලානයේ පිතිකරුවන් අතර පෙරමුණ ගනිමිනි.
නායක බාබර් අසාම් පැවැති තරග 04දී පිළිවෙලින් ලකුණු 10, 09, 14, 00ක් බැගින් රැස්කරගෙන තිබීම හමුවේ සිය පිතිප්‍රහාරය මුවහත්කර ගැනීමට අද තරගයේදී උත්සාහා දරණු නොඅනුමානය. කෙසේ නමුත් එකී පිතිකරුවන් ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතර සිටින එකම පාකිස්තාන ක්‍රීඩකයා වන්නේද රිස්වාන්ය.
පිතිකරුවන් ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව සිටින කුසල් මෙන්ඩිස් ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගය හැරුණු විට අනෙක් සෑම තරගයකදීම ප්‍රතිවාදීන්ට අභියෝගයක් වූයේය. තරග හතරකට සහභාගි වී තිබෙන ඔහු අර්ධ ශතක දෙකක් ඇතුළුව රැස්කරගෙන තිබෙන මුළු ලකුණු සංඛ්‍යාව 155කි.
මේ අතර පිතිකරුවන් ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතරට පැමිණ සිටින පැතුම් නිශ්ශංක තරග 4කදී ලකුණු 110ක් සහ භානුක රාජපක්ෂ තරග 4කදී ලකුණු 96ක් වශයෙන් රැස්කරගෙන සිටී.
පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු සහ තෙවැනි ස්ථාන පාකිස්තානය සතුව තිබේ. එහි පළමු තැනට පත්ව සිටින මොහොමඩ් නවාස් තරග 4කදී කඩුලු 8ක් සහ දෙවැනි තැනට පත්ව සිටින ශාදබ් ඛාන් තරග 4කදී කඩුලු 7ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි පෙරමුණේ සිටින ඩිල්ෂාන් මධුශංඛ තරග 4කදී කඩුලු 6ක් දවා ගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවේ.
ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හරසංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්
පාකිස්තාන සංචිතය – බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ෆකාර් සමාන්, ඉෆ්තිකර් අහමඩ්, කුෂ්දිල් ෂා, අසීෆ් අලී, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, හාරිස් රවුෆ්, මොහොමඩ් හස්නයින්, උස්මාන් කාදර්, හයිඩර් අලී, හසන් අලී සහ ශානවාස් දහානි

0 Comments