සුනිල් ගවස්කාර්ගෙන් සැර ප්‍රකාශයක්...

 



ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වූ විට තමන් හා එකට ක්‍රීඩා කළ අය අතරින් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක එම්.එස්. දෝණි පමණක් පණිවුඩ හුවමාරුකරගත් බව කීමෙන් විරාට් කෝලි කුමක් බලාපොරොත්තු වූයේදැයි හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සුනිල් ගවස්කාර් ප්‍රශ්න කර තිබේ.

ඉකුත් 04 වැනිදා පාකිස්තානය සමග පැවැති තරගය පරාජය වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් කෝලි අදාළ ප්‍රකාශය කළේය. ඊට පිළිතුරු දීමක් ලෙසින් ගවස්කාර් ඉන්දියා ටුඩේ පුවත්පතට එසේ කියා තිබුණි.

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විවේකාගාරයේ පවතින තත්ත්වය පිළිබඳව තමන් නොදන්නා බව කියන ගවස්කාර්, ‘කෝලි නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඔහු හා සම්බන්ධ වූ එම්.එස්. දෝණිගේ නම ප්‍රකාශකර තිබෙනවා. අනෙක් සෑම ක්‍රීඩකයෙක්ම ඔහු හා සම්බන්ධ වුණේ නැහැ කියලා කියනවාට වඩා ඔහු හා සම්බන්ධ නොවූ ක්‍රීඩකයින් පිළිබඳවද ඔහුට නම් කරන්න තිබුණා. කෝලි එහෙම කිව්වානම් එය තරමක් සාධාරණ වනු ඇත.’ යැයි කීවේය.
‘වර්තමානයේ ඔබ ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයෙකු ලෙස පමණයි. එනිසා ඒ ක්‍රීඩකයෙකුගේ භූමිකාව පිළිබඳව පමණක් අවධානය යොමු කරන්න. ඔබ නායකයා ලෙස කටයුතු කරන විට ඔබේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් ගැන සිතන්න වෙනවා. නමුත් දැන් ඔබ නායකත්වයෙන් ඉවත්ව ඇති බැවින් ඔබේම ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමට මේක තමයි කාලය’ යැයිද ගවස්කාර් විසින් කෝලිට උපදෙසක් දී තිබේ.

මේ අතර 1985 දී නායකත්වයෙන් ඉවත් වූ දිනයේ තමා ඇතුළු ක්‍රීඩකයින් එකිනෙකා වැළැඳගෙන එදින රාත්‍රියේ සැමරූ බව කියන ගවස්කාර් ඉන් එහාට තවත් කුමක් බලාපොරාත්තු වන්නදැයි කියා තිබිණි.

Post a Comment

0 Comments