ඉන්ධන අවසන්වීමෙන් ගුවන් යානයක් කඩාවැටෙයි...


අබිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානයක් ගැන ලැට්වියාවෙන් වාර්තා වේ. සෙස්නා වර්ගයට අයත් පෞද්ගලික ගුවන් යානයක් වන මෙහි සිව් දෙනෙකු ගමන් කර ඇත. නියමුවා, තවත් පිරිමියකු, කාන්තාවක සහ දියණියක යයි සැලකෙන අයෙකු එහි ගමන් කර ඇති බව ජර්මන් පුවත්පත් වාර්තා කර තිබිණි.

මෙම යානය පසුගිය ඉරිදා ගමනාරම්භ කර තිබුණේ ස්පාඤ්ඤයේ ජෙරෙස් ඩි ලා ෆ්‍රොන්ටෙරා නමැති නගරයෙනි. මෙය ජර්මනියේ කොලොන්හි ගුවන් තොටුපලක් වෙත පැමිණෙමින් තිබුණත් හදිසියේ සිය ගමන් මග වෙනස් කර බෝල්ටික් මුහුදු කලාපය දෙසට පියාසර කර තිබිණි. මේ අතර එහි වේගය ක්‍රමයෙන් අඩු වෙමින් තිබූ බවක්ද, කෙමෙන් පහතට ගමන් කරමින් තිබූ බවක්ද දැක ගන්නට ලැබී ඇත. ඒ වනවිට යානය ගමනාරම්භ කර පැය හතරහමාරකට ආසන්න කාලයක් ගතව තිබිණි.

එම අවස්ථාවේ රටවල් කිහිපයක යුද ගුවන් යානා මෙම සෙස්නා යානය පිළිබඳ විමසිලිමත් වීමට පටන්ගෙන තිබිණි. එම යානාවල නියමුවන් පවසා තිබුණේ සෙස්නා යානයේ නියමු කුටිය තුළ කිසිවකු දකින්නට නොලැබුණු බවයි. ගුවන් ගමන් පාලක මධ්‍යස්ථාන සහ යානය අතර සබඳතා ද බිඳ වැටී තිබිණි.

පසුව මෙම සෙස්නා යානය ලැට්වියාව ආසන්නයේ බෝල්ටික් මුහුදට කඩා වැටී ඇත. මේ බව වාර්තා වීමත් සමගම ලැට්වියා, ස්වීඩන් සහ ලිතුවේනියා යන රටවල ගලවා ගැනීමේ කණ්ඩායම් මෙම ඉසව්ව වෙත ළඟා වී තිබිණි. ‘යානය කඩා වැටුණේ එහි ඉන්ධන අවසන් වීමෙන් පසුවයි’ යනුවෙන් ස්වීඩන කණ්ඩායමේ සාමාජිකයකු පවසා තිබේ. කෙසේ නමුත් ඊයේ (05 වැනිදා) දහවල් වනවිටත් මළ සිරුරු කිසිවක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැත.

Post a Comment

0 Comments