ලබන වසරේ (2023) සිටම පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
තාක්ෂණයත් සමග ඉදිරියට යෑමේදී සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසි භාෂා නිපුණතාව, අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
6 ශ්‍රේණියේ සිට ඉහළට ගණිතය සහ විද්‍යාව විෂයන් දෙක සිංහල, දමිළ මව් භාෂාවලින් උගන්වන අතරම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ඉගැන්වීමට යෝජනා වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම විෂයන්වල බොහෝ තාක්ෂණික පද තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවට අදාළ ව බැවින් එතරම් අපහසුවකින් තොරව දරුවන්ට ඊට හුරු වියහැකි බවත් එමගින් අසාධාරණයක් සිදුනොවන බවත් අමාත්‍යවරයා පවසයි.
ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පසුබෑමට එක් හේතුවක් වී ඇති විද්‍යා, ගණිත හා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟය මඟහරවා ඉංග්‍රීසි භාෂා නිපුණතාව ලබාදීමට වෙනම වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර විශ්වවිද්‍යාල පද්ධතියත් අධ්‍යාපනඥ සේවයත් ගුරු උපදේශකවරුනුත් ඊට සහභාගිත්වය දක්වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සම්පත් දායකත්වය මත එම ආයතනය සමග ඒකාබද්ධව ක්‍රියාවට නංවා ඇති “English is Simple” ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වෙමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ-තක්සලාව වෙබ් අඩවියට පිවිසීමෙන් රටේ සියලු ම දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ලබාගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


0 Comments