අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට රජය සැලසුම් කළ සියල්ල අසාර්ථක වෙලා - නීතීඥ සුනිල් වටගල..
September 25, 2022

"අරගලයට නව ජවයක් - තරුණ බලය යළි කොළඹට" යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය ඊයේ (24) පැවැත්වූ විරෝධතාව සඳහා පැමිණියේ හොඳ නීතිමය අධ්‍යනයකින් පසුව කිසිඳු නීතියක් කඩ නොකරමින් බව නීතීඥ සුනිල් වටගල පවසනවා.
මීට පෙර පැවති විරෝධතා පොලීසියට පෙර දැනුවත් කිරීමක් සිදු නොකළ බවට සඳහන් කරමින් ඒවා නැවැත්වීමට පොලීසිය කටයුතු කළ බවද, එබැවින් ඊයේ (24) පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිට පෙර දැනුම්දීමක් සිදුකළ බවද ඔහු සඳහන් කළා.
විරෝධතා වැළැක්වීමේ අරමුණින් අධි ආරක්ෂිත කලාප ලෙස ජනාධිපතිවරයා අලුතින් නම් කළ ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනය ද කිසි ලෙසකින්වත් උල්ලංඝණය නොවන පරිදි අදාළ විරෝධතාව සංවිධානය කළ බවද ඔහු පෙන්වා දෙනවා.
එසේ සියලු කටයුතු නීත්‍යානුකූල ලෙස සිදුකර තිබියදීත්, විරෝධතාව මර්දනය කිරීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට එරෙහිව හෙට (26) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත්, නැවත මතුවන අරගලය මර්දනයට රජය සැලසුම් කළ සියල්ල මේ වන විට අසාර්ථක වෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.
රාජ්‍ය රහස් පනත යටතේ රෙගුලාසි පනවමින් නව අධි ආරක්ෂිත කලාප පිළිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතී විරෝධී බවත්, එය කඩිනමින් හෙළි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ස්තූතිවන්ත වන බවත්, ඉදිරියේදී එයට එරෙහිව අධිකරණයට යන බවද නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.
0 Comments