සෞඛ්‍ය සේවාව දැඩි අර්බදයක.. රෝගීන් මිය යෑමේ හැකියාව ඉතා වැඩිවෙයි..- විශේෂඥ වෛද්‍යවරුන් දන්වති

 


විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

එක් දිනකදී විශාල සංඛ්‍යාවක් විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සහ එමගින් සෞඛ්‍ය සේවා හා පශ්චාත් සෞඛ්‍ය අධ්‍යාපනයට සිදුවන බලපෑම. 

සැප්තැම්බර් 14 වන දා නිකුත් කළ 19/2022 යන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව 300 කට ආසන්න විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවක්  මෙම වසරේ දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර විශ්‍රාම යැවීමට නියමිත ය. 

මෙම මාධ්‍ය නිවේදනය මගින් මෙම ක්‍රියාවලිය නිසා ලංකාවේ සෞඛ්‍ය සේවයට සිදුවන බලපෑම පිළිබඳව විශ්ලේෂණය කිරීමට අප අදහස් කරන්නෙමු. 

විශ්‍රාම යාමේ වයස සම්බන්ධයෙන් සිදුකරන නිරන්තර වෙනස්වීම් 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විසින් රෝහල් තුල මෙන්ම ප්‍රජා   සෞඛ්‍ය සේවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කණ්ඩායම් නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි. වෛද්‍ය ශිෂ්‍යයෙක් වශයෙන් ආරම්භ වී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පුහුණුව අවසන් කිරීම අවම වශයෙන් වසර 12 පමණ කාලයක් තිස්සේ ඉතා විශාල ශ්‍රමයක් හා සම්පත් වැයවන භාරදූර කාර්යයකි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය හා ඔවුන්ගේ හිඟය සලකා බැලීමෙන් පසු 2018 වර්ෂයේ දී (එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ අති විශේෂ ගැසට් අංක  2018 අගෝස්තු 2086/1) විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරිණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 වීම මෙම ක්‍රියාවලියට යම් අනුබලයක් විය. 

2022 වසර සඳහා වූ අය වැය යෝජනා මගින් (2021 දී ඉදිරිපත් කළ) සියලු රජයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කෙරිණි. 

මෙම වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් රජයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කළ අතර මෙමගින් අවුරුදු 60 හෝ ඊට වැඩි රජයේ සේවකයින් 2022 දෙසැම්බර් මස 31 දින විශ්‍රාම යායුතු බව යෝජනා කරන ලදී. 

අනතුරුව, රාජ්‍ය පරිපාලන ලේකම්තුමා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් විශේෂිත රාජ්‍ය නිලධාරීන් සඳහා මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයක් මගින් ලබා දී තිබු අවුරුදු 60 පසුව වුවද සේවය කිරීමට හැකි වරප්‍රසාදය නොවෙනස්වන බව ප්‍රකාශ කරන ලද අතර ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට  තිබූ අවස්ථාව මෙමගින් වෙනස් නොවන බව දන්වන ලදී. 

එසේවුවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පසුගිය සැප්තැම්බර් මස 14 වෙනි දින නිකුත් කළ නව චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැටක් ලෙස (අධිකරණ නිලධාරීන් හැර) නිර්ණය කර ඇත. මෙම  චක්‍රලේඛය මගින් සියලුම රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම යායුතු බව ප්‍රකාශ කිරීම මගින් විශේෂඥ වෛද්‍යවරුන් හට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට ලබා දුන් අවස්ථාව අහිමි වී  ඇත.

මෙම නව තත්වය යටතේ කුමක් විය හැකිද? 

වයස අවුරුදු 60 දී විශ්‍රාම යෑමේ නීතිය ක්‍රියාත්මක වුවහොත් ආසන්න වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 300 පමණ 2022 දෙසැම්බර් මස 31 දිනට විශ්‍රාම යා යුතුව ඇත.  එක් දිනයකදී විශේෂඥ වෛද්‍යවරුන් මෙතරම් සංඛ්‍යාවක්  රජයේ සේවයෙන් විශ්‍රාම යන ප්‍රථම වතාව මෙයයි. මෙමගින්  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය හැකි අර්බුදය ඉතා විශාල බව නොඅනුමානය.

මෙම විශ්‍රාමිකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා දැනට රටේ පිටපළාත් වල සේවය කරමින් සිටින වෛද්‍යවරුන් එම පුරප්පාඩු සඳහා මාරු කර යැවීම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. එය එසේ වුවද ඔවුන්ගේ සේවා ස්ථානවලින් ඔවුන්ව  අවශ්‍ය ස්ථාන වලට මාරු කර යැවීම සඳහා ඔවුන්ට අනුප්‍රාප්තිකයන් පත්කළ යුතුව ඇත. සාමාන්‍යයෙන් මෙම අනුප්‍රාප්තිකයන් වශයෙන් පත් වී යන්නේ විශේෂඥ පුහුණුව අවසන් කර මෙරටට පැමිණෙන නවක විශේෂඥ වෛද්‍යවරුන් ය. නමුත් මෙම අවස්ථාවේ රටේ ඇති තත්ත්වය අනුව විශේෂඥ පුහුණුව සඳහා විදේශ ගතවී ඇති අයගේ පැමිණීම ඉතා අඩුවී ඇත. මෙම තත්වය  යටතේ මෙරට සෞඛ්‍ය සේවා සැපයීම ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඇති හැකියාව ඉතා වැඩිය.

මේ සඳහා අප විසින් ඉදිරිපත් කරන උදාහරණ පහත සඳහන් වේ.

රුධිර පාරවිලයන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් 33 දෙනෙකු ලංකාවේ සිටි අතර ඔවුන්ගෙන් අටදෙනෙකු නව චක්‍රලේඛය යටතේ විශ්‍රාම යනු ඇත. එමෙන්ම ඔවුන්ගෙන් දෙදෙනෙකු දැනටමත් විශ්‍රාම ගොස් ඇත. තවත් පස් දෙනෙකු අන් රටවල් සඳහා පදිංචියට ගොස් ඇත. තවත් හතරදෙනකු ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටවල්වලට යාමේ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. මෙම තත්ත්වය මගින් රුධිර පාරවිලයන විශේෂඥවරුන්ගේ සංඛ්‍යාව 14 කට අඩු වනු ඇත. මෙම තත්ත්වයට පෙර සිටම රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවේ හිඟ භාවය නිසා ඇට මිදුළු බද්ධ කිරීමේ ක්‍රියාවලිය සඳහා පොරොත්තු කාලය වසර 2025 දක්වා දීර්ඝ වී තිබුණි. අප ඉදිරිපත් කළ දත්ත අනුව මෙම පොරොත්තු  කාලය  තවත් අර්බුදකාරී වී එමගින් රෝගීන් මිය යෑමේ හැකියාව ඉතා වැඩිවනු ඇත.

රෝග නිර්ණය කිරීමේදී සිදුකරන පඨක ව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 80 පමණ එම  සාම්පල පරීක්ෂාව සඳහා අපට අවශ්‍ය වුවද දැනට අප සතුව සිටින්නේ 60 ක් වැනි සංඛ්‍යාවකි. ඔවුන් අතරින් පස් දෙනෙකු දැනටමත් විදෙස් නිවාඩු මත විදෙස් ගතවී සිටින අතර දස දෙනකු පමණ විදෙස් රටවල් කරා ස්ථිර පදිංචියට යෑමට සූදානම් වෙමින් සිටිති. තවද පස්දෙනෙකුහට මෙම චක්‍ර ලේඛනය යටතේ විශ්‍රාම යෑමට සිදුවනු ඇත. එවිට සිදුවන්නේ අවශ්‍ය  සංඛ්‍යාවෙන්  අඩක පමණ  සංඛ්‍යාවක් මගින් අපට අවශ්‍ය සේවා සැපයීමට සිදු වීමයි. මෙමගින්  රෝග  නිර්ණය ප්‍රමාද වීම නිසා  රෝගීන්ගේ රෝග තත්ත්වයන් සංකූල විය හැක.

අනිකුත් සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම් උදාහරණයට ගෙන දක්වමින් මෙහි ඇති ව්‍යාකූලතාවය අපට පෙන්නුම් කර හැක. මෙමගින් සිදුවන බලපෑම ඉතා දැඩිව දැනෙනු ඇත්තේ රටේ දුප්පත් ජනතාවට ය.

රජයේ ප්‍රධාන රෝහල් වල සිදුවන පුරප්පාඩු උදාහරණ වශයෙන් ගෙන දැක්වීමෙන්  මෙම අර්බුදය අපට තවදුරටත් පැහැදිලි කර හැක.

  • කොළඹ ජාතික රෝහලේ පුරප්පාඩු -43
  • මහනුවර ජාතික රෝහල පුරප්පාඩු -30
  • කරාපිටිය ශික්ෂණ රෝහල පුරප්පාඩු -17
  • කොළඹ ළමා රෝහල පුරප්පාඩු- 15
  • මහරගම අපේක්ෂා රෝහල පුරප්පාඩු -9

මෙහිදී අපට නොතේරෙන සහ පුදුම සහගත කාරණයක් වනුයේ මෙම අවුරුදු 60 විශ්‍රාම නීතිය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට සහ විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට බලනොපාන්නේ කෙසේ ද යන්න ය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ බුද්ධි ගලනය

(අ). වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබා නව  වෛද්‍යවරුන් වශයෙන් පිටවන  අය ලංකාවේ පශ්චාත් උපාධි සඳහා සූදානම් වීම වෙනුවට දැනටමත් බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් ලෙස සමත් වීමට අවශ්‍ය විභාග සඳහා සූදානම් වෙමින් සිටිති. මෙමගින් නව වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් ලංකාවට අහිමි වීමේ හැකියාව ඉතා වැඩිය.

(ආ) විශේෂඥ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා දැනටමත් විදේශගත වී ඇති වෛද්‍යවරුන් නැවත ලංකාවට පැමිණීමේ හැකියාව රටේ ඇති වර්තමාන තත්ත්වය යටතේ ඉතා විශාල ලෙස අඩු වී ඇති බව අපට පෙනේ. මෙම  තත්වය යටතේ විශේෂඥවරුන්ගේ සංඛ්‍යාව අඩු වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත. එමෙන්ම දැනටමත් රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් විදෙස් රටවල තනතුරු සඳහා ඉල්ලුම් කර ඇති බව අපි දනිමු.  උදාහරණයක් ලෙස දැනටමත් අගෝස්තු/ සැප්තැම්බර් මාස තුළදී විශේෂඥ වෛද්‍යවරුන් 15 පමණ රට හැරගොස් හෝ හැර යෑමට සූදානම් වෙමින් සිටින බව අප දනිමු. විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම මගින් සහ සිදුවන මෙම බුද්ධි ගලනය මගින් රටේ සෞඛ්‍ය සේවා සැපයීම විශාල අර්බුදයකට පත් කරනු නොඅනුමානය. දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඇති හිඟය මෙමගින් තවත් උත්සන්න වනු ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය මගින් සිදුවන ස්ථාන මාරුවීම් පිළිබඳ අර්බුදය

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් ඇති බවට යම් අයගේ ඇති මතය අසත්‍ය වන අතර ඇත්තේ අතිශය හිග කමකි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලේඛන පරික්ෂා කිරීමෙන් මෙය තහවුරු කරගත හැක.

වසර හතරකට වරක් සිදුවන ස්ථානමාරුවීම් ක්‍රියාපටිපාටිය නිසා සමහර පුරප්පාඩු පිරවීමේ හැකියාව අවශ්‍ය වෙලාවට කළ හැකි නොවන  අතර එමගින් පුරප්පාඩු බොහෝ කාලයක් එලෙසම පැවතීම තවත් ඇතිවිය හැකි ගැටලුවකි.

පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා සිදුවන අනිසි බලපෑම.

විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ වගකීම ලබාදී ඇත්තේ වසර ගණනක පළපුරුද්දක් ඇති ශික්ෂණ රෝහල් වල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් හටය. මෙවැනි පළපුරුදු විශේෂඥ වෛද්‍ය වරුන් විශාල ප්‍රමාණයක් එකවර විශ්‍රාම යැවිමත් සමඟ නව විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම ඉතා දැඩි අර්බුදයකට ලක් වනු ඇත. මෙසේ එක්වරම ඉතා පළපුරුදු ජේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යැවීම මගින් පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා අවශ්‍ය වන පළපුරුදු වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකි අතර පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා අවශ්‍ය වන පළපුරුදු වෛද්‍යවරුන්ගේ හිඟය මෙන්ම සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාග සඳහා අවශ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයක් ඇති වනු ඇත. මෙයට හේතු වනුයේ එසේ පශ්චාත් වෛද්‍ය පුහුණුව ලබා දීම සහ පුහුණුව අවසානයේ පවත්වන විභාග සඳහා එම විභාගවල තීරකයන් වශයෙන් පත්වීම සඳහා පශ්චාත් උපාධි ආයතනයේ අවශ්‍යතාවක් වන  අවුරුදු 3 ක්, 5ක් හා 7ක් විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් සේවය කර තිබීම  අත්‍යාවශ්‍ය බැවිනි.  මෙම නව විශ්‍රාම ක්‍රමය ක්‍රියාත්මක කිරිම මගින් වසර ගණනක විශේෂඥ පළපුරුද්දක් ඇති වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති වීම මගින් පශ්චාත් වෛද්‍ය පුහුණුව තවදුරටත් අඩාල වනු ඇත.

අප පෙර සඳහන් කල පරිදි මෙලෙස එක්වරම විශේෂඥ වෛද්‍යවරුන් 300ක් පමණ විශ්‍රාම යාම මගින් වෛද්‍ය සේවා පවත්වාගෙන යෑම ඉතා අර්බුදයකට පත් වනු ඇත. මෙම තත්ත්වය වෛද්‍ය සේවා වලට පමණක් විශේෂයෙන් බලපානු ඇත්තේ මෙම වසර 63  දක්වා සේවය කිරීමේ වරප්‍රසාදය මුලින්ම ලබා දුන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් වන බැවින්  එය මීට වසර හතරකට පෙර ලබා දී එක්වරම එය ඉවත් කිරීම හරහා සිදු වන සුවිශේෂී ක්‍රියාවක් නිසාවෙනි.

විශේෂඥ වෛද්‍යවරුන් ලෙස  මෙම අවස්ථාවේදී අදාළ බලධාරීන් හට මෙම තත්වය තෝරා දීම අපේ යුතුකමක් ලෙස අප සලකන්නේ අතීතයේ ගත් මෙවැනි නොයෙකුත් වැරදි තීරණ මගින් රට දැනටමත් ආගාධයට පත් වී ඇති බැවිනි. මහජන සුබ සිද්ධිය සඳහා තීරණ ගන්නා රජයක් එක්වරම මෙසේ විශේෂඥ වෛද්‍යවරු තුන්සියයක්  විශ්‍රාම යැවීම  සාධාරණීකරණය නොකරනු ඇති බව අපගේ විශ්වාසයයි. එමගින් සිදුවිය හැකි ජීවිත හානිය මෙන්ම  ඇතිවන    සෞඛ්‍ය අර්බුදය අප රටේ ජන ජීවිතය තවදුරටත් අගාධයට පත් කරනු ඇත. එමගින් සිදුවන හානිය වැළකීමට අවශ්‍ය මුදල, මෙම ක්‍රියාව මගින් ඉතුරු කිරීමට බලාපොරොත්තු වන මුදලට වඩා බොහෝ වැඩි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

වගකීම් සහිත සංවිධානයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රට තුළ විශේෂ අවදානමක්  සිදුවීමට යන  සෑම අවස්ථාවකම එය බලධාරීන් හට පෙන්වා දීමට කටයුතු කරන ලද අතර  මෙම අවස්ථාවේදී ද මෙම කරුණු රජය හා රට ඉදිරියේ තැබීම  අපගේ යුතුකමක් ලෙස අපි සලකමු.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Post a Comment

0 Comments