ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි


 

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැලණි, කළු, ගිං, නිල්වල්, මහවැලි යන ගංගාවල සහ මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් දැඩි ගංවතුර තත්ත්වක් ඇතිවීමේ අවදනාමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර වර්ෂාපතන තත්ත්වයත් සමග කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දැරණියගල, දොම්පේ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික්ක අටක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

‍කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණැගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික් සඳහා එම නායයෑම් අනතුරු නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

එම දිස්ත්‍රික් අතරින් මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ද නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමග එම වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනට බලපා ඇති බවය.

Post a Comment

0 Comments