ජනතාවට අවවාදාත්මක නිවේදනයක්...




කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඌව, නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුය.

කුඹුරු තේ වතු ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද උපදෙස් ලබා දී තිබේ.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසටයි දැනුම් දෙයි.

බයිසිකල් ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැළකිය යුතු බවද දැනුම් දෙයි.

තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය පතන ලෙසට දැනුම් දෙයි.

Post a Comment

0 Comments