සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක් පත්කර තිබේ.
ඊයේ (17) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම කැබිනට් අනුකාරක සභාව පත්කිරීමට තීරණය කළ බවට වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි යන අයද පත්කර ඇති බව වාර්තා වේ.
දෙමළ ඩයස් පෝරාව, දෙමිළ පක්ෂ, රටතුළ දෙමිළ ජනතාවගේ ගැටලු සහ මතවාද මෙන්ම මෙරට ජනතාවගේ සන්හිඳියාව සම්බන්ධව පැනනැගී ඇති ගැටලු පිළිබඳව සොයාබලා විසඳුම් සෙවීම සඳහා කටයුතු කිරීම එම අනුකාරක සභාවට පැවරී තිබේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ජනාධිපති 22 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කර ගැනීම සඳහා දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.
22වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් GSP සහ IMF අහිමි වනු ඇති බැවින් රට විශාල අර්බුදයකට පත්විය හැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පෙන්වා දී ඇත.
කෙසේවෙතත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විවිධ මත පළකරන අතර බොහෝදෙනාගේ එකඟතාව මත 22වන ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කර ගත හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ලබන 20 සහ 21 යන දෙදින 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත් වේ.
මේ අතර ඊයේ(17) පස්වරුවේ උත්තර ලංකා සභාගය සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ අමෙරිකානු දුරකථන ඇමතුමකින් නැවත 22වන ව්‍යවස්ථා සංශෝධනය කල්යෑම සිදුවේදැයි බියක් පවතින බවය.

0 Comments