තෙබුවන පන්සලේ කඨින පෙරහැරට යන මුවාවෙන් ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණ භාණ්ඩ අලෙවි සැලකට ඇතුළු වී එහි භාණ්ඩ සොරකම් කළ පහලොස් හැවිරිදි පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙබුවන පොලීසිය පැවසුවේ සැකකරුවන් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
අදාළ වෙළෙදසැළ තුළ තිබී ජංගම දුරකථන 61 ක්, ග්‍රයින්ඩර් 14 ක්, රූපවාහිනී 3 ක්, රේඩියෝ 3ක් ඇතුළු උපකරණ තොගයක් සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.
තෙබුවන , යටවර සහ දොඹගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
අත්අඩංගුවට පත්වූවන් අතර සොරබඩු ළග තබාගැනීම සම්බන්ධයෙන් සෙසු සැකකරුවන් සිව්දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.
පහලොස් හැවිරිදි ළමුන් දෙදෙනා එදින විහාරස්ථානයේ පැවැත්වූ කඨින පිංකමට සහභාගි වන බව දෙමාපියන්ට දන්වා සොරකම සිදුකර ඇති බවත් ඔවුන් දෙදෙනා පෙරේදා පාසලේ ශිෂ්‍ය නායක ලාංඡන පැළදීම සදහා සුදානම්ව සිට ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
සැකකරුවන් තිදෙනා එදින අලුයම එකට පමණ තෙබුවන ජංගම දුරකථන වෙළෙඳ සැලට ඇතුල්වී එහි තිබූ ආරක්ෂක කැමරා පද්ධතියක් ගලවා කළු ගඟට විසිකර ඇති අතර එයද ගංඉවුර අසල පාවෙමින් තිබූ සොයාගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් නිවෙස් වල සගවා තිබූ ජංගම දුරකථන 61 ක්, රූපවාහිනී යන්ත්‍ර 3 ක් , ග්‍රයින්ඩර් 14 ක්, බූෆර් 6 ක්, රේඩියෝ 6 ක්, ජංගම දුරකථන සදහා යොදන බැක් කවර් සියයකට අධික ප්‍රමාණයක් , වතුර මෝටර, ගෑස් සිලින්ඩර, රයිස් කුකර්, සහ රුපියල් 10400 ක් සොයාගත් පොලිසිය භාණ්ඩ සොරකම් කර ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
0 Comments