ස්වාමියා බලන්න සිරගෙට පැමිණි සුරතලා...
November 20, 2022
තම ස්වාමියා පොලිස් අත්අඩංගුවට පත්වූ පසු පොලිස් රිමාන්ඩ් සිරමැදිරිය අසල වැතිරී සිටිමින් ඔහුට ආරක්ෂාව සැපයූ සුනඛයෙකු පිළිබඳ බුලත්සිංහල පොලිසියෙන් වාර්තා විය.
බුලත්සිංහල පොලිසියට පෙරේදා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලද පණිවිඩය වූයේ බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පවුල් ආරවුලක් ඇති වී තිබෙන බවට ය .
රාත්‍රී ජංගම සංචාරයක නිරත පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී එම නිවස සොයා ගොස් මූලික විමර්ශන සිදුකර එහි සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් සිරමැදිරිය තුළ රඳවා තබන්නට විය.
විනාඩි කිහිපයක් ගතවෙද්දී සිරමැදිරිය අසල සුනඛයකු වැතිරී සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන් සුනඛයාව පිටතට එළවා දමන්නට වූ අතර අවස්ථා කිහිපයක දී එලෙස එළවා දැමුවත් සුනඛයා කාටත් හොර රහසේ යළි යළිත් සිර මැදිරිය අසලටම පැමිණෙන්නට විය.
පසුව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ පොලිස් සිර මැදිරියට දමන ලද බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පදිංචි පුද්ගලයාගේ නිවසේ ඇති දැඩි කළ “බිංදු” නොමැති සුනඛයා එලෙස පැමිණ ඇති බවය.
බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසේ සිට කිලෝමීටර් එකටත් අධික දුරක් ගෙවා ජීප් රථය පසුපස පැමිණ තිබූ මෙම සුනඛ යා සිර මැදිරිය ඉදිරිපිට රැඳී සිටි මින් එහි යකඩ කූරු අතරින් තව ස්වාමියා දෙස බලමින් නගුට වනන අයුරු පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබුණි.
ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් සිරමැදිරිය දොර කිරීමත් සමගම වහා සිය ස්වාමියා අසලට දිව ගිය බිංදු සුනඛයා ස්වාමියාගේ කකුල් දෙකට තම ඉදිරිපස ගාත් දෙක තබා නඟුට වන්නට වූ අතර එම අවස්ථාවේදී සිරමැදිරිය තුළ සිටි ස්වාමියා අතින් හිස පිරිමදින්නට විය
මද වේලාවක් ගත වෙද්දී පොලිස් නිලධාරීන් එම පුද්ගලයාව ස්ථානාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කිරීමේදී සුනඛයාද ඔහු පසුපස යමින් නිල කාමරය වෙත ඇතුළු වී තිබුණි
අනතුරුව ස්ථානාධිපතිවරයා එම පුද්ගලයාට දැඩි අවවාද කර ඔහුව පොලිස් ඇප මත මුදා හරින ලෙස පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති අතර එම පුද්ගලයා පොලිස් ස්ථානයෙන් පිට වී යාමේ දී බිංදු සුනඛයා එම පුද්ගලයා ද අනුගමනය කරමින් නගුට වනමින් පසුපසින් දිව යන්නට වූයේ අසීමිත සතුටකින් බව බුලත්සිංහල පොලිසිය පැවසීය.
0 Comments