විනෝදය මරණින් කෙළවර වෙයි ...

 



විනෝදයට යතුරුපැදි ඒ මේ අත පදවමින් සිටි තරුණයන් දෙදෙනකු ගේ යතුරුපැදි මොරන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී ඊයේ(18) මධ්‍යම රාත්‍රියේ දී මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පනාපිටිය පාර පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

මියගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් පිරිසක් සමඟ විනෝදයට කළුතර බණ්ඩාරගම මාර්ගයේ ඒ මේ අත යතුරුපැදි පදමින් සිටියදී අධික වේගයෙන් ගමන් ගත් මියගිය තරුණයන් දෙදෙනාගේ යතුරු පැදි මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය තරුණයන් දෙදෙනා සමග යතුරුපැදි පදිමින් සිටි සෙසු තරුණයන් අනතුරත් සමඟම පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් පැමිණ බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටී සිටි තරුණයන් දෙදෙනා මොරන්තුඩුව ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය .

යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් යතුරු පැදි දෙකේ කොටස් සුනුවිසුනු වී අනතුර සිදු වූ ස්ථානයේ සීසීකඩ වැටී තිබී ඇති අතර අධික වේගය අනතුරට හේතුවී තිබිණි.

මියගිය තරුණයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ මහ රෝහලේ දී අද(19) සිදුකිරීමට නියමිතය.

මොරන්තුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments