පොහොට්ටු රැස්වීම් නවතයි...

 





ග්‍රීක කතාවල දැක්වෙන පරිදි අළු මතින් නැගී සිටි ෆීනික්ස් පක්ෂියා සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් දැන් සැරසෙන්නේ අළු මතින් නැගීටීමටය. එය ඔවුන් ආරම්භ කළේ කළුතරිනි. එය සංවිධානය කළේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත් වුණි. එනමුත් ඔහුගේ හිතවතුන් පෙන්වා දී තිබුණේ රැස්වීම් සඳහා ඔහු සහභාගි නොවිය යුතු බවය. දෙවන රැස්වීම නාවලපිටියේ පැවැත් වූයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ සංවිධාන ශක්තියෙනි. තෙවැන්න ආරච්චිකට්ටුවේදී පැවැත්විණි. එය සංවිධානය කළේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාය. හිටපු ජනාධිපතිවරයා ඊටද සහභාගි වූයේ ය.

ඉන්පසු කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල රැස්වීම් පැවැත්වීමට සූදානම් වූවත් ඇමැති ප්‍රසන්න රණතුංග ඊට සිය විරෝධය ප්‍රසිද්ධියේ පළ කළේ ය. ‘‘මම අළු මතින් නැගිටීමේ රැස්වීම්වලට විරුද්ධයි. ගම්පහ සංවිධානය කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෞරවනීය සමුගැනීමක් දෙන්න ඕනි’’ ඇමැතිවරයා කීවේය. මෙම සතියේදී හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී ද ඇමැති ප්‍රසන්න රණතුංග ඔහුට හමු වූයේ ලොබියේදීය. ‘‘මම මේ රැස්වීම් මාලාවට කැමැති නැහැ. මම ඒක නාමල් මල්ලිටත් කීවා. ඉස්සරවෙලා පාක්ෂිකයෝ ගැන බලලා පක්ෂය හදලා ඊට පස්සේ ඔබතුමා ගමට එක්කගෙන යන්න ඕනි.’’ ඇමැතිවරයා හිටපු ජනාධිපතිවරයා හමුවේ කීවේය.

කෙසේ වෙතත් මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. ඊට හේතුව වන්නේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මෙන් අනෙකුත් දිස්ත්‍රික් නායකයන්ද විරෝධය පළ කිරීමට සූදානම් වීමේ අවදානමක් තිබීමයි. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මෙම තීරයට ප්‍රකාශ කළේ අයවැය විවාදය හේතුවෙන් රැස්වීම් මාලාව තාවකාලිකව නතර කළ බවයි. මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැඳීසිටීම අනිවාර්යය කිරීමද ඊට හේතුවක් බව ඔහු කීවේය.



කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිකුරාදා උදෑසනම කුරුණෑගල බලා පිටත්ව ගියේ නාමල්අංග රජමහා විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්ස්වයට සහභාගි වීමටය. ඒ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සමගය. ‘‘මම 2015 පැරදුණු වෙලාවේ කුරුණෑගලට එනකොට නාමල්අංගේ හාමුදුරුවෝ කතා කරලම කීවා පන්සලට එන්න කියලා. ඒක මතක්වෙලා උන්වහන්සේට කෘතගුණ සලකන්න මම ආවා’’ හිටපු ජනාධිපතිවරයා විහාරස්ථානයේදී කීවේය.

Post a Comment

0 Comments