රට බංකොලොත් කරමින් ආනයන අපනයන සෙල්ලමක්.. ඉන්ධන ගේන්න කිසිම සමාගමක් නොපැමිණේ..




Over invoiceing හා Under invoiceing මගින් ව්‍යාපාරිකයන් මෙරට ඩොලර් විදේශයට රැගෙන යන ආනයන – අපනයන සෙල්ලම තුළින් රට බංකොලොත් වීම තවදුරටත් සිදුවන බවත් එම ක්‍රියාවලිය පිළිබඳව 2016 දී ‘මුල්‍ය අරබුදය පාමුල’ කෘතිය තුළින් පවා තමන් අනාවරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තු විවාදය අවස්ථාවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“අද අපේ රට බංකොලොත් රටක් හැටියට අපි මේ අයවැය විවාද කරනවා. අපි පෙනී ඉන්න යම් යම් මිත්‍යාවන් ප්‍රමාණයක් පිළිබඳව අවබෝධය ඇති කරගන්නවා. පසුගියදා අපේ රටේ සෘජු විදේශ ආයෝජන හා විදේශ ආයෝජකයන් රටෙන් රැගෙන ගිය ඩොලර් ප්‍රමාණය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරළියට ආවා. 2020 ගත්තොත් ලෝකයේ සාමානයෙන් ආයෝජනයකින් ලබාගන්න පුළුවන් ලාභාංශය 4.7 යි. නමුත් ලංකාවේ ඒක 7.4යි. ඒ කියන්නේ ලංකාව වැඩියෙන් ලාභ උපයන්න පුළුවන් තැනක්. නමුත් අපිට වැඩියෙන් ආයෝජන ඇවිල්ලා නෑ. 2020 මුල්‍යමය වශයෙන් ඇතිවෙච්ච විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 243. ලාභාංශ අරන් තියෙනවා 428 ක්. 2019 – 2022 සිදුවෙමින් තියෙන්නේ මොකක්ද? ආයෝජන වලට වඩා වැඩි ප්‍රමාණයක් ලාභාංශ හැටියට රටෙන් එළියට යනවා. ඒ කියන්නේ මධ්‍යකාලීන විදියට, මේක අර්බුදයක් බවට පත්වෙනවා. අපේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මේක ලොකු බරක් එකතු කරන තැනක්. මේ පිළිබඳව මුලින්ම 2016 දී මම කෘතියක් කළා ‘මුල්‍ය අරබුදය පාමුල’ කියලා. අද මේ මුහුණ දීලා තියෙන ප්‍රශ්නය අපි 2016 දී විස්තර කළා. එතනදි අපි පෙන්වලා දුන්නා Global Integrity Report එකට අනුව ලංකාවේ ආනයන – අපනයන මේ සෙල්ලම වෙනවා කියලා. මෙතන වෙන්නේ ආනයන වලදී Over invoiceing කරලා ඩොලර් එහෙ ගෙනියනවා. ඒ වගේම අපනයන වලදී Under invoiceing කරලා ඩොලර් අනිත් පැත්තට ගෙනියනවා. ආසන්නයෙන් පසුගිය දශක දෙකක කාලය තුළ ඩොලර් බිලියන 2 – 2.5ත් අතර ප්‍රමාණයක්. මේ කාලයේම ලංකාවේ ගෙවුම් ශේෂයත් ඊට සමාන ප්‍රමාණයක්. රටේ රේගු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යංශය මේ මහා පරිමාණයෙන් සිදුකරන ඩොලර්, ආනයන අපනයන සෙල්ලම වලක්වා ගැනීමට ගන්න නීතිමය හා තාක්ෂණිකමය ක්‍රියාමාර්ග වගේම ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.

මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ගිය ජූලි මාසේ සිට ඔවුන් මිනුම් දණ්ඩක් හැටියට අරගෙන පරීක්ෂා කළා කියලා, ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් ලංකාවට රැගෙන ඇවිල්ලා තියෙන මුදල් ප්‍රමාණය, අපනයන වටිනාකමින් 17% යි කියලා. සමස්තයක් හැටියට ගත්තම එය 23% යි. ඉතින් බෙහෙත්, පොහොර, තෙල් , ගල් අඟුරු ටික ගන්න ඩොලර් නැතුව බිඳ වැටිලා තියෙන රට ඇතුලේ ව්‍යාපාරික පන්තිය ක්‍රියා කරන්නේ මෙලෙසනම් ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීමේ වගකීම මේ පාර්ලිමේන්තුවටත්, ආණ්ඩුවටත් තියෙනවා.

තව මායාවක් තමයි අපි පනත් වෙනස් කරනවා. මෑතදී ඛනිජ තෙල් ක්ෂේත්‍රය ලිබරල්කරණයට ලක් කළා. නමුත් තෙල් ගෙන්නන්න මේ වෙනකන් එකම කෙනෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. තෙල් බෙදාහැරීම සම්බන්ධයෙන් IOC වලට අමතරව තවත් අය ඇවිල්ලා නෑ. විදුලියට දැන් එවැනිම යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. මෙගාවොට් 100 සූර්ය බලයට දැම්මා ටෙන්ඩර්. කිසිම විදේශිකයෙක් ආවේ නෑ. ඇයි මේ එන්නේ නැත්තේ? විදේශ ආයෝජකයන්ට අවශ්‍යයි ඩොලර් වලින් ආයෝජනය කරලා ඩොලර් වලින්ම ආපහු ගෙනියන්න. අපි මොන තරම් ලිබරල්කරණයන් කරත් කිසිම කෙනෙක් මේ රටට එන්නේ නෑ. බලාගාර, වරාය, අධිවේගී මාර්ගය අත්පත් කරගන්න උපාය මාර්ගය මත විදේශ කොම්පැනියක් කල්පනා කළොත් මිස.

අද කතා කරනවා නිදහස් වෙළඳ ගිවිසුම් ගැන. නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිවෙන්න නම් නිදහස් වෙළඳාමක් තියෙන්න ඕන. නිදහස් වෙළඳාමට සීමා පනවලා තියෙන අවස්ථාවක, වෙළඳ ගිවිසුම් එන්නේ නැහැ. ඒ වගේම අපට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් බැංකුව ඖෂධ, පොහොර ගන්න ලබා දීපු ධනය නිවැරදිව පාවිච්චි කරලා නැහැ. පුද්ගලික අංශය පොහොර ලාබෙට ගේනවා ඩොලර් 600 ට. රජය ගේනවා 800ට. මේ තත්වයන් පිළිබඳ යථාර්ථවාදීව කල්පනා කරලා අපි අලුත් විසඳුම් වලියක් සොයා ගැනීම සඳහා වෙහෙස වෙමු.”

Post a Comment

0 Comments