විදුලි බිල වැඩි කිරීම’ නැමැති ‘පොල්ලෙන්’ ගසා ඇද වැටී සිටින කර්මාන්තකරුවා හාන්සි නොකරන ලෙසටත් අනේකවිධ දුෂ්කරතා මැද මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ගැන සලකා, රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව නතර කරන ලෙසටත් ආණ්ඩුවට බලකර කියා සිටින බව උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද සඳහන් කළේය.
“අපි දැක්කා විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා, නැවත වටයකින් විදුලි බිල වැඩි කිරීම සඳහා සූදානමක් පවතින බව. ඒ වගේම ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කිරීම සඳහා ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බවට තොරතුරු ආරංචි මාර්ග ඔස්සේ අපට ලැබිලා තිබෙනවා. විදුලි බිල අද ගෘහස්ථ පාරිභෝගිකයින්ට දැරිය නොහැකි මට්ටමකට පත් වෙලා තිබෙනවා. ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් නෙවෙයි විශේෂයෙන් විදුලි බිල වැඩි වීම අපේ කර්මාන්ත ක්ෂේත්‍රයට කර ඇති බලපෑම විශාලයි. අපි අද රටක් විදිහට ආර්ථිකමය වශයෙන් වැටිලා තිබෙන මේ වලෙන් ගොඩඑන්න නම් අපේ ස්වදේශික කර්මාන්තකරුවා නඟාසිටුවීම අත්‍යවශ්‍ය දෙයක්. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට එක පැත්තකින් ‘බැංකු පොලිය කියන පොල්ලෙන්’ ගහලා තියෙනවා. දැන් ‘විදුලි බිල කියන පොල්ලෙන්’ ගහන්න හදනවා. දේශීය කර්මාන්තකරුවාව හාන්සි කරලා, විනාශ කරලා දාලා, බහුජාතික සමාගම් ටිකකට මේ රට කොල්ලකන්න ඉඩ දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා, ‘මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත් වෙලා තියෙන්නේ ස්වදේශික කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා. මේ රටේ 52%ක පමණ රැකියා ප්‍රතිශතයක් ලබා දීලා තියෙන්නේ ඔවුන්. ඒ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම රජයේ අතිශයින්ම ප්‍රබල වගකීමක්. ඒ නිසා විදුලි බිල කියන පොල්ලෙන් ගහලා ඔවුන්ව බිමට වට්ටන්න එපා!’ කියලා.
අපි දන්නවා 2023 ජනවාරි මාසයේ අ.පො.ස.(උසස් පෙළ) විභාගය පටන් ගන්නවා. උසස් පෙළ විභාගය කියන්නේ ජීවිතයේ කඩඉම. ඒ විභාගයෙන් තමයි තීරණය වෙන්නේ කෙනෙක් වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු වෙනවාද? විශ්ව විද්‍යාලයට යනවාද, නැද්ද?’ කියලා. ඒ විභාගයට පෙනී සිටින දරුවන්ට නිදහසේ පාඩම් කිරීමට තියෙන අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා, ‘වහාම රාත්‍රී කාලයේ කරන විදුලි කප්පාදුව මේ මාසයට අදාළ කාලය සඳහා නවත්තන්න.’ කියලා. විශේෂයෙන් අද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉතාම දුෂ්කර තත්වයන් යටතේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නේ. පාසල් උපකරණවල මිල අධික විදිහට වැඩි වෙලා. ආර්ථික අහේනිය තමන්ගේ ජීවිතයට දැනෙමින්, පාසලට යන්න බැරි ප්‍රශ්න ඇතිවෙමින්, ඒ වගේම පහුගිය කාලයේ පාසල් වසා දැමීම නිසා ඇතිවූ අසාධාරණකම් ආදී අධ්‍යාපන කටයුතු කරගැනීමට අනේකවිධ බාධා තියෙද්දී, තමයි ඔවුන් මේ විභාගයට මුහුණ දෙන්නේ. ඒ නිසා ‘විදුලි කප්පාදුව’ කියන බාධාව ඔවුන්ට ඇති කරන්න එපා. දවල් වරුවේ කරන කප්පාදුවක් කරන්න. නමුත් රාත්‍රී කාලයේ ඒ දරුවන් වෙනුවෙන් හිතලා සහනයක් දෙන්න.
ව්‍යවස්ථාදායක සභාව වහාම පත් කළ යුතුයි
21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අපේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තමයි මුලින්ම ඉදිරිපත් කළේ. ඒ යෝජනාව ඉදිරිපත් කළේ එවකට අපේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ හිටපු මන්ත්‍රීවරයකු වශයෙන් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා. එතුමා එදා ’22 වැනි ව්‍යවස්ථා සංශෝධනය’ කියලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් එය ලබා දුන්නා. ආණ්ඩුවත්, විපක්ෂයත් මේක සම්මත කරන්න නොවෙයි හිටියේ, ඔවුන් හොර ගල් අහුලමින් හිටියේ. අපි දැක්කා, ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් ඒ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා වෙලාවේ ඒකට විරුද්ධ වෙන්න උත්සාහ කළ ආකාරය, විවිධ කොන්දේසි දමපු ආකාරය. අපි දැක්කා විරුද්ධ පක්ෂය පැත්තෙනුත් විවිධ කොන්දේසි දානවා. ඒ විතරක් නොවෙයි, කකුලෙන් අදින්නත් ලෑස්ති වුණා. අපි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ලෙස නිර්මාණය කරපු ජනමතයත් සමාජයේ තිබුණු මතයත් නිසා මේ අයට මේකට ඡන්දෙ දෙන්න සිද්ධ වුණා. ඒ නිසයි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණේ.
හැබැයි දැන් මොකක්ද කරන්නේ? සම්මත වෙලා තියෙද්දී ඒකෙ සිදුවිය යුතු ඉදිරි කටයුතු ප්‍රමාද කරමින් යනවා. අපි දන්නේ නැහැ, මේක ආණ්ඩුවේ උවමනාවට සිද්ධ වෙනවාද? විරුද්ධ පක්ෂයේ උවමනාවට සිද්ධ වෙනවාද? කියලා.
ඒ නිසා අපි කියනවා, ‘ප්‍රමාද කරන්නේ නැතුව, ව්‍යවස්ථාදායක සභාව පත් කරන්න.’ කියා. අපි දැක්කා පොලිස් කොමිසම ගැන විවිධ චෝදනා තිබෙනවා. ඒකේ සභාපති, දේශපාලනඥයෝ හම්බවෙන්න ගියා, කියලා චෝදනා තියෙනවා. එහෙනම් ඒකට ස්වාධීන මිනිස්සු පත් කරන්න ඕනේ. ඒ සඳහා බලය තියෙන ව්‍යවස්ථාදායක සභාව වහාම පත් කරන්න ඕනේ. ඒක ආණ්ඩු පක්ෂයේත්, නිල විපක්ෂයේත් වගකීමක් කියන එක අපි පැහැදිලිව කියනවා. අපේ පැත්තෙන් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විදිහට, මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න, ඒක නිර්මාණය කරන්න දීපු දායකත්වය වගේම ඒක ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සම්පූර්ණ දායකත්වය ලබා දෙනවා.”
මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග, ජාතික විධායක සභික වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.
0 Comments