රටින් පැන ගිය කෙනෙක් නැවත ඇවිත් රට ගොඩගන්න හැටි ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලිදක්වනවා…


වසන්ත මුදලිගේ වැනි තරුණ ක්‍රියාකාරීන් මර්දනය කිරීම තුළින් රනිල් ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ රට තුළ වන තරුණ පිබිදීම මර්දනය කොට තරුණයන්ගේ ඡන්ද ලබාගැනීම නම් එය කෙසේවත් සිදු නොවන්නක් යන්න ආණ්ඩුව මතක තබාගත යුතු බව 43 සේනාංකය පවසයි. ආර්ථික හා සමාජීය පීඩනයට ප්‍රතික්‍රියාවක් ලෙස ඉදිරියට ආ අරගලයේ ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස සළකන වත්මන් ආණ්ඩුව රට මෙතැනට වැට්ටවූ ආර්ථික ත්‍රස්තවාදීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි 43 සේනාංකය ප්‍රශ්න කරයි.

මේ බව ප්‍රකාශ වූයේ තරුණ අංශය විසින් ‘රජය විසින් සිදු කෙරෙන තරුණ දේශපාලන ක්‍රියාකරුවන් මර්දනය හා ත්‍රස්ත විරෝධී පනත’ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ 43 සේනාංකය තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු තීක්ෂණ ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ, සාමකාමීව අරගලවල නිරත වන තරුණ ක්‍රියාකාරීන් වෙනුවෙන් 43 සේනාංකය නිබඳව පෙනී සිටින බවය. තමන් නියෝජනය කරන පිරිස අරගල තුලින් පමණක් ප්‍රශ්නවලට විසඳුම් සොයන පිරිසක් නොවූව ද, දේශපාලන වශයෙන් කිනම් වෙනස් මතවාදයක සිටිය ද, අරගලයේ සිටින තරුණ ක්‍රියාකාරීන්ට යම් මර්දනයක් එල්ල වන්නේ නම්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් පසුබට නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

“අද වන විට වසන්ත මුදලිගේ සහෝදරයා අත්අඩංගුවට අරගෙන මාස 4කට අධික කාලයක් ගිහිල්ලා තියෙනවා. මේක ලේසි පහසු කාලයක් නෙමෙයි. ත්‍රස්ත විරෝධී පනත කියන එකෙන් තමයි මේ අත්අඩංගුවට ගැනීම කරලා තිබ්බේ. නමුත් දෙසැම්බර් 12 වෙනිදා ඔහුට ඇප ලැබෙයි කියලා යම්කිසි විශ්වාසයක් මේ රටේ සියලු දෙනාට තිබ්බා. නමුත් ඇප ලැබුනෙ නෑ. මාස හතරක් පරීක්ෂණ කරපු ආරක්ෂක අංශ වලට බැරි වුනා මේ පරීක්ෂණ වාර්තා එළියට දෙන්න. මෙහෙම තියෙන තත්වෙකදී මම සාමාන්‍ය මිනිස්සු විදිහට අපි හිතන දේවල් ගොඩක් තියෙනවා. අපි අධිකරණයට ගරු කරනවා. නමුත් මේ රටේ මහ බැංකුව කොල්ල කාපු මිනිස්සු අද නිදොස් වෙලා තියෙනවා. සිය ගානක් මැරිච්ච පාස්කු ප්‍රහාරයට වගකීමක් අද භාරගන්න කෙනෙක් නෑ. ඔවුන් නිදොස් වෙලා තියෙනවා. අපි වැරදියි කියලා හිතපු මිනිස්සු නිදොස් වෙලා තියෙනවා. ඒ වගේම මේ පොලිසිය ආණ්ඩුව මාධ්‍ය කිව්ව කෝටි ගණන් වංචා කරපු අර තිළිණි ප්‍රියමාලි වගේ කාන්තාවන්ට ඇප ලැබිලා තියෙනවා. හැබැයි වසන්ත මුදලිගේට ඇප ලැබිලා නෑ. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.”

වසන්ත මුදලිගේ වැනි අරගලය තුළ ක්‍රියාකාරීව සිටි අයගේ ආරක්ෂාව සම්බන්ධව පැහැදිලි ගැටළුවක් රට තුළ පවතී. ඔවුන් මර්දනය කිරීම හරහා රටේ උගත් තරුණ ප්‍රජාව සහ සාමාන්‍ය මිනිසුන් කල්පනා කරන්නේ රටේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බවය. එවිට ඔවුන් උත්සාහ කරන්නේ රට හැරයාමටය. මේ රට හදන්න පුළුවන් යන විශ්වාසය සහිත, රට හැදෙන කාලයක තමන්ට ද ඒ සඳහා දායකත්වයක් ලබාදිය හැකිය යන්න කල්පනා කරන තාරුණ්‍යය මෙවන් අයුක්ති සහගත වැඩ නිසා රට හැර යන තත්ත්වයකට පත්ව සිටී.

“මාධ්‍යවලට කියලා තියෙනවා වසන්ත මුදලිගේගෙ ජීවිතයට තර්ජනයක් තියෙනවා. ඝාතන සැලැස්මක් තියෙනවා කියලා. මෙන්න මේ කාරණා හොයලා බලන්න ඕනේ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි අභියෝග කරනවා. වහාම මේ ගැන පරීක්ෂණ කරන්න. පරීක්ෂණ වාර්තා එළියට දාන්න. මාස 4 ක් ගිහිල්ලා මොකක්ද මේ කරලා තියෙන ප්‍රතිඵලය? කොළඹ ඉඳලා තවත් බන්ධනාගාරවලට වසන්තව මේ මාරු කරන්න සූදානම් වෙනවා. මොකක්ද මේ වෙන්නේ කියන කාරණා සමාජය දැනගත යුතුයි.”

රජයේ වියදම් වැඩි වශයෙන් වෙන්කොට තිබෙන්නේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙනි. නමුත් අරගලයේ ක්‍රියාකාරිකයෙක් වූ ඩිලාන් සේනානායක පිහි ඇනුමකට ලක්වෙන්නේ කොළඹදී මය. ඩිලාන් පසුගිය කාලයේ දී රටේ ආණ්ඩුවට අභියෝග කළ පුද්ගලයෙකු බැවින් මේ සම්බන්ධ නිසි විමර්ශණයක් සිදුකිරීම ආණ්ඩුවේ වගකීමක් බව ද ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

“වසන්තගෙ නීතිඥවරුන් උසාවියේ අහලා කියනවා ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහුට තියෙන චෝදනා මොනවද කියලා. ඔහුට තිබෙන්නෙත් අනෙක් දහසකුත් අරගලකරුවන්ට තිබ්බ චෝදනා, ජනාධිපති කාර්යාලයට ඇතුල්වීම වගේ චෝදනා. එවන් චෝදනාවට ලක් වූ දහස් ගණන් මිනිස්සු උසාවි කටයුතු අවසන් කරලා ඇප පිට නිදහස් වෙලා ඉන්නවා. ඒක පොදුවේ ආර්ථික හා දේශපාලන පීඩනය පිට කරපු අවස්ථාවක්. ඒක විශේෂ අවස්ථාවක්. ඒක උසාවියෙන් ඒකට කටයුතු කරලා තියෙනවා. නමුත් එවැනිම තියෙද්දි මේ මේ වසන්ත මුදලිගේ වගේ වෙනම විදිහකට වෙන අයට වෙන නීතියක් සලකන්නේ ඇයි?”

43 සේනාංකය තරුණ අංශයේ විධායක සභික සංජීව රත්නායක මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, ආර්ථික ක්‍රියාවලිය හමුවේ එක පැත්තකින් ගොඩනැගුණු, මිනිස් ජීවිතවල අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය නැති කරගන්න, පාලකයන් විසින් ඇද දාපු, නරක තත්ත්වයෙන් ගොඩ එන්න උත්සාහයක් හැටියට, ඇති වූ අරගලය රටේ මිනිසුන්ට එරෙහි ත්‍රස්තවාදයක් ලෙස, උපුටා දක්වලා මේ රටේ පාලකයන් මේ වන විට ඇතැමුන් නිශ්චිත කොටගෙන දේශපාලනික උවමනාවකින් නීතිය හසුරුවන බවක් පේන්නට තිබෙන බවය.

“ආර්ථික අපහසුතා මුල් කොටගෙන. ඊට ප්‍රතික්‍රියාවක් හැටියට ගොඩනැගුණු අරගලය ත්‍රස්තවාදයක් නම් මේ රට මේ මට්ටමට බංකොලොත් කරපු රටේ විදේශ සංචිත ඩොලර් බිලියන හතේ සිට බිංදුව දක්වා ඇද දාපු රටේ තෙල් ටික නැති කරපු රටට එන ගෑස් ටික නැති කරපු රටේ කර්මාන්ත ක්ෂේත්‍රය බිඳ වට්ටපු රටේ මිනිස්සුන්ට කන්න බොන්න ටික නැති කරපු විදුලි බිල ගෙවා ගන්න බැරි මට්ටමට මිනිස්සු පත් කරපු ගෑස් ටික, ආහාර පාන ටික ගන්න බැරි මට්ටමට මිනිස්සු පත් කරපු, මේ රට වශයෙන් ආර්ථික විනාශ කරපු ආර්ථික ත්‍රස්තවාදීන්ට ගන්න නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද?”

“අර්බුදය කූඨප්‍රාප්තියට පත් වෙනකම් පාලකයෝ නිහඬව ඔහේ බලාගෙන හිටියා රට විනාශ වෙන්න. රටේ මූලය පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. එක ඩොලර් එකක්වත් නැතිවෙන තත්ත්වයට පත්වුනයින් පස්සේ IMF එකට යන්න වෙනවා. මේවා ත්‍රස්තවාදී වැඩ. දැන දැන රටේ ආර්ථිකය විනාශ කරපු එක ත්‍රස්තවාදයක් නෙමෙයිද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න ඕනේ මේ රටේ ආර්ථිකය, මේ රටේ මිනිස්සුන්ගේ අනාගතය විනාශ කරපු මේ ආර්ථික ත්‍රස්තවාදියො නෙමෙයි ද? කිසිම පරීක්ෂණයක් මගින් ආර්ථික මේ ආර්ථිකය විනාශ කරපු ත්‍රස්තවාදීන්ට විරුද්ධව මොකක් හරි පරීක්ෂණයකින් දඬුවම් කරලා තියෙනවද?”

අර්බුදය දීර්ඝකාලීන වෙමින් රටේ මිනිසුන්ගේ සිත් තුළ අයුක්තියේ සෙවනැල්ල දිගින් දිගටම සනිටුහන් කරමින් තාරුණ්‍යයට තම ජීවිත පිළිබඳ අවිනිශ්චිත බවක් ඇති කරමින්, පාලකයන් තමන්ට සමානාත්මතාවයෙන් නොසළකන බව ඔවුන්ට ඒත්තු ගන්වමින්, රට වෙනුවෙන් යම්කිසි ප්‍රකාශයක් කරන, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රශ්න කරන මිනිසුන් අනාරක්ෂිත බවට පත්වෙමින් සිටින බව ද රත්නායක මහතා මෙහිදී අවධාරණය කළේය.

“අධිකරණයට අවශ්‍ය කරුණු පොලිසිය මඟින් දක්වලා දේශපාලනික වශයෙන් හිර කරමින් සිටින අරගලකරුවන් නිදහස් කරන්න, මිනිස්සුන්ට යුක්තියේ පණිවිඩය ලබා දෙන්න. ආර්ථික වශයෙන් අපිව විනාශයට පත් කරපු මහින්ද රාජපක්ෂ ඇතුළු සහචරවාදී කල්ලිය, වහාම නීතිය හමුවට ගෙනල්ලා, ඒ වෙනුවෙන් පරීක්ෂණයක් කරලා, ඔවුන් අධිකරණයට නීතිය හමුවට අරන් එන්න. ක්‍රියාත්මක වෙන්න කියලා ඉල්ලමින් අපි මේ සටන දිගින් දිගටම කරනවා.”

ජීවත්වීමේ අවම අයිතිය හෝ ලබාදෙන ලෙස ඉල්ලා පාරට බසින ලද, තරුණයන්ව සහ, තම දරුවාගේ අනාගතය සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින් පාරට බසින ලද දෙමව්පියන්ව මර්දනය කිරීම සඳහා යොදවන සම්පත්, රජය විසින් මේ රට මේ තත්ත්වයට ඇද දැමූ මිනිස්සුන්ට විරුද්ධව නොයොදවන්නේ මන්දැයි මේ මාධ්‍ය හමුවට එක් වූ 43 සේනාංකය ගම්පහ දිස්ත්‍රික් තරුණ අංශයේ සම්බන්ධීකාරක ඉසුරු චන්ද්‍රසේකර මහතා මෙහිදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

“මෑතකදි රටින් පැනලා ගිය කෙනෙක් නැවත ලංකාවට ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලිදක්වනවා මේ රට නැවත ගොඩගන්න. ඒ කියන්නේ ඒ අය වට්ටපු රට නැවත ඒ අයම ගොඩගන්න. හිනා නොවී කොහොමද ඒක කරන්නේ? තමුන්ම කාලා දාපු රටට තමුන්ම ආයෙ විසඳුම් දෙනවා කියලා. කම්බ හොරෙක්ට වුණත් තමුන්ගේ හොරකම සාධාරණීකරණය කරලා පොතක් වුණත් එළිදක්වන්න පුළුවන් සයිස් එකට මේ රට වැටිලා තියෙනවා. දැන් තව පටිය තද වෙන්න තැනක් නෑ. ලබන පාරත් මේ විහිළු කාරයන්ටම රැවටිලා තව අවුරුදු ගාණක් බැන බැන මේ රටේ දුක් විඳිනවද? එහෙම නැත්නම් ඊළඟ පාර ඡන්දේ දාන්න යන කොට ඡන්දපොළට තමුන්ගේ හදවතත් එක්ක මොළෙත් අරන් ගිහිල්ලා මේ අර්බුදයෙන් ගොඩ යනවද කියන එක ශ්‍රී ලාංකිකයෝ විදිහට කල්පනා කරලා බැලිය යුතුයි.”

Post a Comment

0 Comments