අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ ඉදිරි වසර සඳහා දුම්රිය සේවයේ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මා හට ලැබී ඇති අමාත්‍ය ධූරය තුළිනුත් රටේ පොදු ප්‍රවාහනය උදෙසාත් විශාල සේවයක් සිදු කරන්නට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. දුම්රිය සේවයටත් එහි විශාල කාර්යභාරයක් පැවැරෙනවා.
පසුගියදා ඉන්දියාවේ සිදුකල සංචාරයේදී නිරීක්ෂණය කළ පරිදි ඔවුන්ගේ දුම්රිය සේවය ඉතාමත් දියුණු තත්වයකට පත්කර තිබෙනවා. පවතින යුධ වාතාවරණය හේතුවෙන් රුසියාව වැනි දියුණු රටවලට පවා අවශ්‍ය සේවාවන් ඉන්දියාවෙන් ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාවේ දුම්රිය සේවාව මෙන්ම අනෙකුත් ප්‍රවාහන ක්ෂේත්‍රයන් පවා විදුලි බලයට පරිවර්ථනය කරමින් පවතිනවා. එරට අමාත්‍යතුමා මා සමඟත් ප්‍රකාශ කළේ ඉන්ධන වලට වැයවන අධික මුදල ප්‍රමාණය නතර කිරීමට විද්‍යුත් ක්‍රමයට හුවමාරු වන්නට ඉන්දියාවේ සහාය ලබා දීමට සූදානම් බවයි. ඔවුන්ගේ ඉංජිනේරුවන් ඇතුළු විශේෂඥ දැනුම මෙරට ඉංජිනේරුවන් ඇතුලු වෘත්තිකයින්ට ලබා දීමට ඔවුන් සූදානම්.
තීන්දු තීරණ ගන්නා බොහෝ ස්ථානවල දුම්රිය සේවය සම්බන්ධයෙන් පවතින්නේ යහපත් ආකල්පයක් නොවෙයි. නමුත් මා සතුව හෝ මෙම නිලධාරීන් සතුව වෙනත් කිසිඳු පෞද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති නිසා දුම්රිය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්. බොහෝ දෙනා විරෝධය පළ කළත් තව වසරක් තුළ මෙම ගැටලු නිරාකරණය කර ගනිමින් දුම්රිය සේවය ඉහල තලයකට ගෙන ඒමට කටයුතු කල හැකි බව මා විශ්වාස කරනවා.”
අමාත්‍යවරයා සිය අතීත අත්දැකීම් පිළිබඳව ද මෙහිදී සඳහන් කළේය.
“තමාට ලැබෙන අභියෝග වෙනත් පාර්ශවයන්ට භාර නොදී ඒ වගකීම මා විසින්ම දරමින් එහි ප්‍රතිඵල ලැබෙන තුරු අත්නොහැර කටයුතු කිරීම මගේ අභිලාශයයි. මිනිසුන් ජීවිතයේ සතුට විඳින ආකාරය විවිධයි. නමුත් තමන්ගේ ජීවිතයෙන් රටට යමක් ඉතිරි කරන පිරිස ඉතා සීමිතයි. තමන් සිදු කල යහපත් කාර්යයක ප්‍රතිඵල දකිමින් සතුටු විය හැකි නම් සැබෑ සතුට එයයි. මේ සියලු කරුණු කෙනෙකු ජීවත්වන කාලය තුළ ඉතිරිවන මතකයක් පමණයි.
අමාත්‍යවරයෙකු ලෙසත් මාගේ ජීවිත කාලය තුල රාමුවෙන් ඔබ්බට සිතමින් කටයුතු කරමින් ලබා ගත් යහපත් ප්‍රථිපල පිළිබඳ දැනටත් සතුටු වන්නට හැකියි. මීට දශකයකට පමණ පෙර බොහෝ විද්වතුන්, අධ්‍යාපනඥයින්ගේ විරෝධය මැදත් හෝමාගම කැලෑබද ප්‍රදේශයක ප‍්‍රදේශයක මහින්ද රාජපක්ෂ විද්‍යාලය මා විසින් ගොඩනැඟුවා. දැනට සිසුන් 7000ක් පමණ අධ්‍යාපනය ලබනවා. ගුරු මණ්ඩලය 300ක් පමණ සිටින දකුණු ආසියාවේ විශලාතම ද්විතීක පාසල මෙයයි. පසුගිය වසරේ ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සාමාන්‍ය පෙල විභාගයට මෙම පාසලින් පෙනී සිටියා. පසුගියදා නිකුත් වූ ප්‍රතිඵල අනුව. ඉහලම මට්ටමේ ප්‍රතිඵල ලබා ගනිමින් ඒ දරුවන් 763 දෙනාම උසස් පෙළට සුදුසුකම් ලබා තිබෙනවා. වසර සිය ගණනක් පැරණි ඉතිහාසයක් සහිත අතිශය ජනප්‍රිය බොහෝ පාසල්වලටවත් එවැනි ප්‍රථිඵල වාර්තාවක් පිහිටුවන්නට හැකියාවක් ලැබී නැහැ. එය පාසලේ නිර්මාතෘවරයා හැටියට මට විශාල සතුටක්. මාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පාසලට සේවාවන් රැසක් සිදුකර තිබෙනවා. එවැනිම පාසලක් මාතර ප්‍රදේශයේත් පිහිටුවනු ලැබුවා. ඒ දරුවනුත් ඉහලම ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. තවත් වසර දහස් ගණනක් යනතුරුත් උපනූපන් පරම්පරාවන් ඒ පාසල්වලින් අධ්‍යාපනය ලබා ගනු ඇති.”
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්, අතිරේක ලේකම්වරුන්, දුම්රිය සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධීකාරීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
0 Comments