කොළඹ වරාය ජාඇළටත්

 



කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹදී පවත්වන ලද 2022 ආර්ථික සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එසේම යල් පැනගිය ආර්ථික ක්‍රමවේද වෙනුවට 2050ට මුහුණදිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදෙන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

අනාගතය සඳහා හරිත හයිඩ්‍රජන් අංශය කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සූර්ය බලශක්ති කර්මාන්තයට වඩා විශාල විභවයක් ඇති හරිත හයිඩ්‍රජන් කෙරෙහි පෞද්ගලික අංශය අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.

ඉඩම් නීති ද නැවත සලකා බලා ආයෝජකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි පරිදි පවතින නීති වෙනස්කම් සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහප්‍රකාශ කළේය.

පළමුව කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනාවරණය කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානය පළමුවෙන්ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බවත් සිහිපත් කළේය. ‍



කෙසේ වුවත් දැනට සිදු කරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බවත්, උපායමාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Post a Comment

0 Comments