මෙරටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරළ කලාපයේ රුපියල් 2500 ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරෙන බව තැඹිලි අපනයනකරුවෝ කියා සිටිති.
ඩුබායි වෙළෙඳපොළේ මෙරට තැඹිලි සඳහා පැවැති ඉල්ලුම තුන් ගුණයකින් පමණ මේ වන විට ඉහළ ගොස් තිබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ පැවසීය.
ලංකාවට පමණක් ආවේණික ශාකයක් වන තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පැවැතියද, පසුගිය කාලයේදී තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක්‍රමයට සිදුවීම නිසා මෙරටට විශාල විදේශ විනිමයක් අහිමිවූ බවත් සභාපතිවරයා කීවේය.
පොල් සංවර්ධන අධිකාරියේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවසීය.
පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8 (දළ වශයෙන් රුපියල් 296) ක් ලැබෙන බවද ඔහු කීවේය. එමෙන්ම, ඩුබායි වෙළෙඳ පොළේ මෙරට තැඹිලි ගෙඩියක් රුපියල් 500 කට අලෙවි කෙරේ.
තැඹිලි අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති වජිර විජේසිංහ කියා සිටියේ පසුගිය කාලයේදී තැඹිලි අපනයනය සම්බන්ධව නිසි නියාමනයක් නොතිබීම නිසා තායිලන්තය,වියට්නාමය ආදී රටවල “ස්වීට් කොකනට්’’සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉල්ලුම ඉහළ ගිය බවය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ.
විදෙස් වෙළෙඳ පොළේ මෙරට තැඹිලි සඳහා පවතින ඉල්ලුම සහ මිල ඉහළ යාම නිසා මෙරට වෙළෙඳ පොළේ ද තැඹිලි මිල ඉහළ යාහැකි බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීවේය.
තැඹිලි අපනයනය කිරීමෙන් ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.
0 Comments