කඩ වලින් බඩු උස්සා ඉංග්‍රීසි සර් වෙනම කඩයක් දාලා...

 

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වෙළෙඳසල් පහළොවක් බිඳ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා වියළි ආහාර ඇතුළු භාණ්ඩ සොරකම් කළ ඉංග්‍රීසි ගුරුවරයකු ඇතුළු දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඉංග්‍රීසි ගුරුවරයා සොරකම් කරන ලද භාණ්ඩ එක්රැස් කරගනිමින් බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් සැකකරු සියලු භාණ්ඩ එකම වහලක් යටින් පුවරුවක්ද එම වෙළෙඳසලේ සවිකර තිබූ බවත් කළුතර දකුණ පොලිසිය පවසයි.


කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වෙළෙඳසල් බිඳ කිරිපිටි, සීනි, පරිප්පු, සැමන්, ගෑස් සිලින්ඩර් ඇතුළු භාණ්ඩ රැසක් සොරාගැනීමේ සිදුවීම්වලට අදාළ පැමිණිලි ගණනාවක් සටහන් වී තිබිණි.


කළුතර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ පත්ව ඒමෙන් පසු මේ ආකාරයේ වාර්තා වූ සොරකම් රැසක් සම්බන්ධයෙන්ම පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබූවේ පොලිසියේ අපරාධ අංශයේද සක්‍රීය දායකත්වය ගනිමිනි.


ඒ අකාරයෙන් සිදුකළ විමර්ශනවලදීත් ආරක්ෂිත කැමරා දර්ශන මගිනුත් අනාවරණය වූ කරුණු මත මෙම සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබිණි. එමෙන්ම ඊට සහාය වූ පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ මොවුන් සොරාගන්නා ලද භාණ්ඩ තවත් බාහිර පාර්ශ්ව වෙත අලෙවි නොකොට ඉංග්‍රීසි ගුරුවරයාගේ බණ්ඩාරගම පිහිටි වෙළෙඳසලකට ගෙන ගොස් අලෙවි කර තිබෙන බවය.

Post a Comment

0 Comments