හැරීගේ පොත ලෝක වාර්තාවක් තියයි...

 

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ ජීවිත මතක සටහන් ඇතුළත් Spare ග්‍රන්ථය අලෙවිය අතින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.


ගිනස් ලෝක වාර්තාවලට අනුව Spare මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ ප්‍රබන්ධ ගණයට අයත් නොවන ග්‍රන්ථ අතරින් ලොව වැඩිම වේගයෙන් අලෙවි වූ ග්‍රන්ථය ලෙසිනි.


මෙම පොත වෙළෙඳපොලට නිකුත් වූයේ පසුගිය 10 වැනි දිනයි. පළමු දිනය තුළ එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව යන රටවල පමණක් එහි පිටපත් ලක්‍ෂ 14කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබිණි.


මෙම ලෝක වාර්තාවට මෙයට පෙර හිමිකම් කීවේ ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ලියන ලද ග්‍රන්ථයකි. A Promised Land නමැති මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් වූයේ 2020 වසරේය.


පළමු දිනය තුළ එහි පිටපත් 887,000කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වී තිබිණි. Spare ග්‍රන්ථය ලොව පුරා භාෂා 15 කින් පමණ ප්‍රකාශයට පත්ව ඇත. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ සුප්‍රකට ප්‍රකාශන ආයතනයක් වන Penguin Random House ය.


Spare ග්‍රන්ථයේ අඩංගු ඇතැම් කාරණා මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. ඇෆ්ගනිස්තාන යුද්ධයේ දී තමා තලේබාන් සාමාජිකයන් 25 දෙනෙකු ඝාතනය කළ බවට හැරී කුමරු කර ඇති සඳහනක් ඒ අතරින් දැඩි අවධානයක් දිනාගත්තේය.


පොතේ ඇති මෙම කාරණය මාධ්‍ය වැරදි අදහසක් ඇති වන ආකාරයෙන් වාර්තා කිරීම නිසා තමාගේ සහ තම පවුලේ අයගේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව හැරී කුමරු පවසයි. තමා මෙම ඝාතන ගැන පුරසාරම් දොඩන ආකාරයක් මෙම මාධ්‍ය වාර්තා නිසා හැඟී යන බවට හැරී කුමරු චෝදනා කරයි.


තමා සහ විලියම් කුමරු අතර ඇති වූ බහින්බස් වීමක් ගැන සහ විලියම් තමාට බිම ඇද වැටෙන්නට පහර දුන් අවස්ථාවක් ගැන හැරී කර ඇති ප්‍රකාශයන් ද විශාල අවධානයක් දිනා ගන්නට සමත් විය. Spare ග්‍රන්ථය ඇමරිකාව තුළ මිල කර ඇත්තේ ඩොලර් 36 කටය.


එය ලංකා රුපියල් 13,000කට ආසන්න වේ. නමුත් බොහෝ පොත් වෙළෙඳුන් මෙම පොත සඳහා විශාල වශයෙන් වට්ටම් ලබා දෙන බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

Post a Comment

0 Comments