ගුවන් යානයක රෝද කුටීරයේ මළ සිරුරු දෙකක්...

 

කොලම්බියාවේ අගනුවර වන බොගොටාහි ගුවන් තොටුපොළට ගොඩබැස්ස වූ ගුවන් යානයක රෝද අඩංගු කුටීරය තුළ තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබේ. එලෙස හමු වී තිබුණේ වයස අවුරුදු 15ක සහ 20ක තරුණයන් දෙදෙනකුගේ මළ සිරුරු බව නිලධාරීහු පවසති.


නීති විරෝධී ආකාරයෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට තැත් කරන ඇතැම්හු මේ ආකාරයෙන් ගුවන් යානාවල රෝද කුටීර තුළ සැඟවී ගමන් කිරීමට උත්සාහ කරති.


නමුත් ගුවන් යානා පොළොවේ සිට අඩි දස දහස් ගණනක් ඉහළින් ගමන් කිරීමේ දී ඇති වන පීඩන වෙනස්කම් නිසාත්, දැඩි ශීතල නිසාත් ඔවුහු බොහෝ විට මරණයට පත් වෙති. ඉහත කී ගුවන් යානය බොගොටා වෙත පැමිණ තිබුණේ චිලියේ සිට බව සඳහන් වේ. මළ සිරුරු හමුවී තිබුණේ යානය නඩත්තු කටයුතු සඳහා ගත් අවස්ථාවේය.


මිය ගිය පුද්ගලයන් කළු ජාතිකයන් බව සඳහන් වේ. ඔවුන් කුමන රටකට අයත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ වී තිබේ. 

ඔවුන් වෙත තිබී ඩොමිනිකන් ජනරජයේ මුදල් නෝට්ටු කිහිපයක් හමු වී තිබිණි. මේ අනුව ඔවුන් එරට වැසියන් වන්නට හැකි බව අනුමාන කෙරේ.


මෙම තරුණයන් ගුවන් යානයට රිංගා ගන්නට ඇත්තේ ජනවාරි 3 වැනි දා විය හැකි බවට විමර්ශකයෝ සැක කරති. මළ සිරුරු සොයාගෙන තිබුණේ ජනවාරි 6 වැනි දිනය.

Post a Comment

0 Comments