ජනාධිපතිටත් බදු ගහන්න යයි...

 

ජනාධිපතිවරයාගේ සිට සියලු ඇමැතිවරුන්ගෙන්, මන්ත්‍රිවරුන්ගෙන් මෙන් ම නිලධාරින්ගෙන් ද මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා බදු අය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කරනු ලැබ ඇත.


දේශපාලකයන්ට මෙන්ම නිලධාරීන්ට අදාළව ද මූල්‍ය නොවන ප්‍රතිලාභ සීමා කළ හැක්කේ කෙසේද යන්න ගැන ද මේ වන විට අවධානය යොමු කර තිබෙන බවත් මේ සතියේ දී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි වන බවත් මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.


මූල්‍ය නොවන ප්‍රතිලාභ යනු දේශපාලකයන්ට මෙන් ම නිලධාරීන්ට ද ඔවුන්ගේ තනතුරු මත ලබා දී තිබෙන නිල නිවාස, වාහන ඇතුළු වරප්‍රසාද ඇතුළත් වන අතර මෙවැනි වරප්‍රසාද සඳහා මෙතෙක් බදු අය කර නැතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.


මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ඉංජිනේරු සංගමය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමග දැනටම සාකච්ඡා කර ඇත. එම සංගම්වලින් ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.


ඇතැම් නිලධාරීන් සිය වාහන රාජ්‍ය ආයතනවලට ලබා දී ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබන බවත් එවැනි අවස්ථාවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත තීරණ ගැනීමට සිදුවන බවත් කී රාජ්‍ය ඇමැතිවරයා පවතින තත්ත්වය මත රාජ්‍ය ආදායම ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියලු පියවරයන් ගන්නා බව ද සඳහන් කළේය.


මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා වන බදු නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ඉකුත් දා පැවති එම කාරක සභා සාකච්ඡාවක දී අවධාරණය කර තිබිණි.

Post a Comment

0 Comments