සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය අද (10 වැනිදා) ප.ව. 1.30ට ගුවාතිහිදී ආරම්භ වේ.
මේ දක්වා දෙරට අතර පවත්වා තිබෙන එක්දින ක්‍රිකට් තරග 162කින් ඉන්දියාව තරග 93ක් ජය ගන්නා අතරවාරයේදී ජය පැරදුමෙන් තොරව නිමවූ තරගය හා අතරමැද නතර කිරීමට සිදු වූ තරග 11 හැරුණු විට ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 57ක් පමණි.
ඒ අතරින් අවසන් වරට දෙරට අතර පැවැති එක්දින තරග 26කින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තරග 5ක ජය පමණක් වීමද සුවිශේෂී කාරණයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ නායකත්වය යටතේ ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගාවලිය මෙය වේ. 2021 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති පළමු තරගාවලියේදී තරග 2-1කින් තරගාවලි ජය ඉන්දියාව සතු විය.
අද තරගය පැවැත්වෙන ගුවාති ක්‍රීඩාංගණයේ මීට පෙර පවත්වා ඇත්තේ එක්දින තරග එකක් පමණි. එම තරගයේදී කොදෙව්වන් රැස්කළ ලකුණු 322ක ඉලක්කය හඹාගිය ඉන්දියාව පන්දුවාර 42කදී එම ඉලක්කය සපුරාගෙන තිබීම හමුවේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලෙස ගුවාතිහි ක්‍රීඩාංගණය හඳුන්වයි. මේ අතර අදාළ තරගයේදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 152ක් රැස්කරගෙන තිබිණි.
ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ රෝහිත් ෂර්මා එක්දින තරගාවලියේදී නැවත කණ්ඩායම මෙහෙයවනු ඇත. මේ අතර කොන්දේ ආබාධය සුව වී සිටින ජස්ප්‍රිට් බුම්රා එක්දින තරගාවලියේ සිට නැවත කණ්ඩායමට එක්වීමට තීරණය කර තිබුණද, ඔහු තවදුරටත් විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
අද තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවකු ලෙස යොදවා කුසල් මෙන්ඩිස් නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩා කරවීමට මෙන්ම යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද තරගයේ ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවති.
අද ක්‍රීඩා කරනු ඇතැයි සැලවෙන ශ්‍රී ලංකා කණ්ඩායම
අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ශාන් මධුශංක හෝ ළහිරු කුමාර
ඉන්දීය සංචිතය - රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදෙව්, ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල්, ඉශාන් කිෂන්, හර්දික් පාණ්ඩ්‍යා, වොෂින්ග්ටන් සුන්දර්, යුස්වේන්දර් චහල්, කුල්දීප් යාදෙව්, අක්සාර් පටෙල්, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික්, අර්ශ්දීප් සිං
0 Comments