ලංගම සේවකයන්ට අමානුෂික පහරදීම් හා හිරිහැර කර වරදකරුවන් වන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සිටින පෞද්ගලික බස්රථවල මාර්ග බලපත් වසර දෙකකට අහෝසි කරන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 වැනිදා) ප්‍රකාශ කළේය.
ඇතැම් පුද්ගලික බස්රථ වැඩි ලාභ උපයාගැනීමේ පරමාර්ථයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලට සහ පොදු දේපළවලට හානි වන ලෙසින් තරගකාරී ලෙස ධාවනයේ යෙදෙන බව ද ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ලංගම සේවකයන්ට සිදුවන ශාරීරික පීඩා හා අමානුෂික පහරදීම් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
පහරදීම්වලට ලක්වන රියැදුරු හා කොන්දොස්තර මහතුන්ගේ අතපය කඩා දැමීම නිසා ආබාධ තත්ත්වයට පත්වීම, මුහුණට පහරදීම නිසා දෑස් නොපෙනීයාම වැනි අමානුෂික ක්‍රියා පිළිබදව වාර්තා වී තිබෙනවා. 2015 ජූනි මස 05 වන දින පුද්ගලික බස්රථ සේවකයන් විසින් ගාල්ල ප්‍රදේශයේදී කතරගම ඩිපෝවේ එච්.එච්.ප්‍රියදර්ශන කොන්දොස්තර මහතාට කරන ලද පහරදීමෙන් ඔහු මියගොස් තිබෙනවා. ඉන්පසු ආබාධිත තත්ත්වයට පත්වූ රියදුරු කොන්දොස්තර මහතුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වන බව ඉදිරිපත් වන දත්ත අනුව නිරීක්ෂණය වනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකා පොලිසිය මගින් නිසි වේලාවට රාජකාරී ඉටු නොකිරීම පිළිබඳ ශ්‍රීලංගම වෘත්තීය සමිති කනස්සල්ලට පත්වී තිබෙනවා. රාජකාරි ඉටුකර ගැනීම වෙනුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළැඹී පොලිසියේ අවධානය යොමු කරගන්නට ඔවුන්ට සිදුව තිබෙනවා.

0 Comments