රටවල් කිපයක් පුරා මේ වනවිට කොවිඩ් වසංගතය නැවත වතාවක් පැතිර යමින් ඇති බවට වාර්තා වී තිබෙන බැවින් මෙරට ජනතාවද ඒ සම්බන්ධයෙන් දැඩි අවදානයකින් පසුවිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි. වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.
''පසුගිය දින කීපය තුළ නැවත වතාවක් අප රට තුළින් කොවිඩ් අසාදිතයන් වාර්තා වී තිබුණා. ඒ අනුව අපට අනුමාන කළ හැක්කේ නැවත වතාවක් කොවිඩ් රැල්ලක් අප පසු පස හඹා එමින් සිටින බව. පළමු සහ දෙවැනි කොවිඩ් රැල්ල අප රට තුළ පැතිර ගිය අවස්ථාවට වඩා ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය දරුණු විය හැකියි. රට තුළ පවතින ඖෂධ හිඟය, නිලධාරීන් විශ්‍රාම ගොස් තිබීම නිසා ඇති වී තිබෙන ගැටලු මෙන්ම ප්‍රවාහන දුෂ්කරතාද අප රට තුළ තවමත් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි.
මේ අවස්ථාවේදී ජනතාව ඉතාමත්ම වගකීමෙන් කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. මොකද බොහෝ දෙනෙකුට අපේ රටේ කොවිඩ් රැල්ලක් තිබූ බව මේ වනවිට අමතක වී තිබෙනවා. රජය හෝ සෞඛ්‍ය බලධාරීන් තහංචි පැනවීමට පෙර ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි අපි විශ්වාස කරන්නේ. අනාගතයේදී නැවත වතාවක් කොවිඩ් රැල්ලක් ඇති නොවීමට නම් අප පළමුව කළ යුත්තේ එන්නත් මාත්‍රාව නිසි පරිදි ලබා ගැනීමයි. එමෙන්ම පසුගිය කාලයේ අපි භාවිත කළ දැනට අමතක කර දමා ඇති සෞඛ්‍ය පුරුදු වෙත නැවතත් අනුගත යුතු වනවා.''
0 Comments