නීතිමය සංශෝධනයක් කර අලුත් නීතියක් හදන්න.!

 

තමා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සිදුකළ වැරදි නිසා රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවීමට අධිකරණ තීන්දු කළත් එම මුදල ගෙවීමට තමාට මුදල් නොමැති බවද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (17) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

යම් නීතිමය සංශෝධනයක් කර මානව හිමිකම් නඩු සඳහා චෝදනාවට ලක්වන අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහින් කතා කිරීමට අවස්ථාවක් දෙන නීතියක් හදන ලෙසද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කරයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති තවදුරටත් සදහන් කළේ,

“නඩු තීන්දුව දෙස බලන විට මේ නඩු තීන්දුවේ සඳහන් ප්‍රධාන කරුණක් තමයි. ඒ තීන්දුවෙන් මට කෝටි 10ක මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. තීන්දුවේ පැහැදිලි ලෙසම තියෙනවා. ජනපතිවරයා විසින් පත්කළ නිලධාරීන් යමිකිසි වරදක් කළොත් ඒ වැරැද්ද සඳහා ජනාධිපතිවරයා වගකිව යුතුයි කියලා.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පත්කළේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඒ පත්වීම අත්සන් කරන්නේ ජනපති. නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස් කියන මහත්වරු. ඒ අය පත්කළේ පොලිස් දෙපාර්තමේන්තුව තුළින්. ඒ අය පත් කළේ මගේ අත්සනකින් නොවේ. හේමසිරි ප්‍රනාන්දු සෘජුවම ජනාධිපතිවරයා විසින් පත්කළ කෙනෙක්. මේ නඩු තීන්දුවේ තියෙන්නේ පැහැදිලිවම.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් කරන වැරදි නිසා එහි වගකීමක් ජනාධිපතිවරයාටත් එන්නේය. ඒ අනුව ජනාධිපතිවරයා මේකට වගකිව යුතුයි කියලා නඩු තීන්දුවේ තියෙනවා. ඒ අනුව මට කෝටි 10ක් ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒ කරුණ නැත්නම් ඇත්තෙන්ම මම මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන තත්ත්වයට තමයි මේ නඩුවේ කාරණා තිබෙන්නේ.

දෙපාර්ශ්වයේ පැමිණිලිකරුවන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ නැතිනම් වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥවරු විතරයි පෙනී සිටින්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. යම් නීතිමය සංශෝධනයක් කරන්න කියලා. මානව හිමිකම් නඩු සඳහා චෝදනාවට ලක්වන අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහින් තමන්ට කතා කිරීමට අවස්ථාවක් දෙන නීතියක් හදන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

අනුන් කරපු දෙයක් සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් තමයි මේ කරන සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් කෝටි 10ක් ගෙවන්න මට ආදායමක් නැහැ. ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ හිතවතුන්ගෙන් ඉල්ලා මුදල් එකතු කරගන්න.”

Post a Comment

0 Comments