කිරි කඩෙන් යූරියා පොහොරත් බෙදලා

 



කොළඹ පිපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ කිරි කඩයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ ලියාපදිංචි බලපත්‍රයක් උපයෝගී කරගෙන පොහොර ආනයනය කරන ප්‍රධාන පෙලේ සමාගමක් හොරණ කර්මාන්ත ශාලාවකට යූරියා පොහොර තොග වශයෙන් මුදලට විකිණීමේ මහා පරිමාණ වංචාවක් අනාවරණය වී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.


2018, ,2019 හා 2020 වසර වල දී සහනාධාර වශයෙන් ගොවීන් වෙත ලබාදීම සඳහා ගෙන්වන ලද යූරියා පොහොර තොග සම්බන්ධයෙන් සිදු වී ඇතැයි කියන අවභාවිතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇති බව එම නිලධාරියා පැවසීය.


2018 වසරේදී ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් පොහොර සමාගම් 19 කට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබූ අතර එම සමාගම් වලින් දෙකක් රජයේ අනු බද්ද සමාගම් බව සඳහන් වේ.


රජයේ අනුබද්ධිත සමාගම් දෙක මගින් ගෙන්වන යූරියා පොහොර වී වගාවට පමණක් ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා පොහොර මිටියක් රුපියල් 500 මිලකට ගොවින් වෙත ලබා දි ඇති අතර වී වගාව හැර අනෙකුත් සියලුම බෝග වගාවන් සඳහා අනෙකුත් සමාගම් වලින් යූරියා පොහොර මිටියක් රුපියල් 1100 මිලකට අලෙවි කර ඇත.


කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය වන පොහොර අදාල කර්මාන්ත ශාලාව මගින්

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මගින් අවසර ලබාගෙන ආනයනය කළ යුතුව ඇති අතර ගොවීන්ට දෙන පොහොර හා වැවිලි බෝග සඳහා ලබාදෙන පොහොර කිසිම හේතුවක් මත කර්මාන්තශාලා වලට දීමට නොහැකි යැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවසීය.


කර්මාන්ත ශාලා දෙකක් නොවටිනා දැව කඳන් මිලදී ගෙන ඒවා කුඩු බවට පත්කර විශාල ටැංකිවලට බහා එම ටැංකිවලට මෙම යූරියා පොහොර මහා පරිමාණයෙන් එක්කර කෘතිම බෝඩ් නිෂ්පාදනය කර එමගින් ගෘහ භාණ්ඩ සෑදීමට උපයෝගී කරගන්නවා සේම විදේශගත කිරීමට ද පියවර ගන්නා බවත් එම නිලධාරියා පවසයි.


ආනයනික පොහොර සමාගම් කීපයක් ගොවීන් සඳහා සහනාධාර පොහොර ආනයනය කරන මුවාවෙන් ගෙන්වන ලද පොහොර නීත්‍යානුකූල නොවන ක්‍රම උපායන් යොදා ගෙන 

කර්මාන්තශාලා දෙකට මහා පරිමාණයෙන් යූරියා පොහොර සපයා ඇතැයි ද ඔහු කීය.


කොළඹ පිපල්ස් පාර්ක් හි කිරි කඩය වෙනුවෙන් ලබාගත් ලියාපදිංචි බලපත්‍රය අදාල සමාගමේ තුන්වන පාර්ශවකරුවකු හැටියට නම් කර අදාළ කර්මාන්ත ශාලාවෙන් මුදල් ගැනීම සඳහා බිල්පත් ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වීමත් සමඟම අදාල සමාගමේ වගකිවයුතු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අපේක්ෂිත අයදුම්පත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments