මෙරට ප්‍රධාන පෙළේ පොහොර ආනයන සමාගමක් වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මෙරටදී ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.
ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ විසින් ඔනේෂ් සුභසිංහ මහතාට මෙරට තුළදී අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන කර ඇති බවටද කරුණු අනාවරණ වූ බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයකදී මිය ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ දේහය එරට ආරක්ෂක අංශ විසින් පසුගිය 3 වනදා සොයාගත්තේය.
ඒ අනුව එරට විමර්ශන අංශ මෙන්ම මේ වනවිට මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහිදී අනාවරණ වී ඇත්තේ ඔනේෂ් සුබසිංහගේ බිරිඳ වන රෝසා සිල්වා, සිව් හැවිරිදි දියණිය සහ බ්‍රසීල ජාතික මෙහෙකාර කාන්තාව පසුගිය 3 වනදා දෝහා වෙත ගොස් ඇති බවය.
පසුව ඔවුන් බ්‍රසීලයේ, සාවෝ පාවුලෝ වෙත ගොස් ඇති බවට CIDය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත.
අනතුරුව CIDය විසින් ඕනේෂ් සුබසිංහගේ කොළඹ පිහිටි නිවස පරීක්ෂා කර එහි තිබූ පුද්ගලයන් 25කට ආසන්න පිරිසකගේ ඇඟිලි සලකුණු, DNA සාම්පල ලබාගැනීම සඳහා යොමුකර තිබුණි.
එමෙන්ම සොකෝ නිලධාරීන් විසින් විද්‍යාත්මක සාක්ෂි සඳහා ලබාගත හැකි නිවසේ වූ භාණ්ඩ රැසක් සිය භාරයට ගත් බව වාර්තා වෙයි.
සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිඳ හා ඔහු අතර පසුගිය කාලය පුරාම පවුල් ආරවුල් මතුවී ඇති බවට නිවසේ සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී විමර්ශකයින් අනාවරණ කරගෙන තිබේ.
එම අවස්ථාවලදී ඔහුගේ බිරිය විසින් මරණ තර්ජනය කර ඇති බවද අදාළ ප්‍රකාශවල සඳහන් බව CIDය පවසයි.
එමෙන්ම බිරිය දරුවා ද රැගෙන බ්‍රසීලය බලා යාමට අවස්ථා ගණනාවකදී උත්සා දරා තිබුණ ද ඊට සුබසිංහ විරෝධය දක්වා තිබේ.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි සතියේදී ඉන්දුනීසියාවේ ජකර්තා වෙත ගොස් ඒකාබද්ධ විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.
ඔනේෂ් සුබසිංහගේ බිරිඳ හා ඇයගේ සහායිකාව අතර සමීප සබඳතාවක් තිබී ඇති බවත් ඔවුන් මේ වනවිට බ්‍රසීලයට පළාගොස් සිටීම නිසාත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා බවත් පොලීසිය සඳහන් කරයි.
අදාළ සහායිකාව බ්‍රසීල මාෆියා කණ්ඩායමක සාමාජිකාවක් බවට සැක කරන බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.


0 Comments