රදැල්ල අතුරු මාර්ගය යන්න අවසර ලැබුණු වාහන...

 

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා ටොන් 5ට වඩා බර අඩු වාහනවලට අද (08) දින සිට එම මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අවසර ලබාදී තිබේ.


මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් භාර විධායක ඉංජිනේරුවරයා විසින් එම අවසර ලබා දී ඇතැයි නානුඔය පොලීසිය පවසයි.


පසුගිය ජනවාරි මස 20 වනදා නානුඔය - රදැල්ල කෙටි මාර්ගයේ සිදුවු බස් රථ අනතුරින් පුද්ගලයින් 7දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.


ඒ හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ධාවනය මේ දක්වා තාවකාලිකව නවතා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පියවර ගැනුණි.


එම තීරණය අනුව බර වාහන ධාවනය නතර කළ දින සිට එම මාර්ගයේ ගමන්ගත් බර වාහන සියල්ල රදැල්ල - කිරිමැටිය වට රවුම් මාර්ගය ඔස්සේ ධාවනය කෙරුණි.


හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන සුඛෝපභෝගි බස්රථ හිමියන් වටරවුම් මාර්ගයේ බස්රථ ධාවනය කිරීම තුළින් තමන්ට පාඩු සිදුවන බව පවසා තිබුණි.


මේ අතර, එම බස් රථවල ගමන් කරන්නේ නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල රජයේ ආයතනවල සේවය කරන සේවකයින් නිසා ඔවුන්ට නිසි වේලාවට සේවා ස්ථානවලට යාමට නොහැකි වී ඇති බවත් පවසමින් කළ ඉල්ලීමක් අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් භාර විධායක ඉංජිනේරුවරයා අදාළ මාර්ගය අද විවෘත කර ඇත.


ටොන් 5ට වඩා වැඩි බර වාහන රදැල්ල කිරිමැටිය වටරවුම් මාර්ගයේ ධාවනය කෙරෙන අතර, එය නිරීක්ෂණය කිරීමට රථවාහන පොලිස් නිලධාරීන් යොදවා ඇති බව ද නානුඔය පොලීසිය පැවසීය.

Post a Comment

0 Comments