මාර්තු මස 9 වන දා පැවැත්වීමට සැලසුම් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන 23 දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
විශ්‍රාමික යුද්ධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් එම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
රටේ බරපතළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතළ කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බව ඔහු එමගින් පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන්, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තුළින් රටට හෝ මහ ජනතාවට කිසිදු යහපතක් අත් නොවන බව පෙන්වා දෙන ඔහු ඉල්ලා ඇත්තේ, මැතිවරණ කටයුතු සිදුකිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙස ය.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කර තිබේ.
පෙත්සම් විභාගය පැවැත්වුණු අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, “පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව ය.”
ඒ අනුව, එම ප්‍රතිඥාව වෙනුවෙන් සෑහීමකට පත්වන බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
ඉන් අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කර ගෙන ඇති ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකේ විභාගය අවසන් කිරීමට තීරණය කර ඇත.
එම පෙත්සම් ගොනු කර තිබුණේ, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.
ඉන් එක් පෙත්සමක් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල් පීරිස් විසින් ගොනු කරන ලද අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්.ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරුන් විසිනි.

0 Comments