කරන්නාගොඩ රහසේ වීඩියෝ කිරීම CID විමර්ශනයට...

 

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට රහසිගතව වීඩියෝ දර්ශන ලබා ගැනීමේ සිදුවීමක් අනාවරණය වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


මෙම වීඩියෝ දර්ශන දෙස බැලූ විට තමන්ගේ ජීවිතාරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ලවී ඇති බව පැහැදිලිවම පෙනී යන බැවින් එම තර්ජනය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.


කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ කාමරයක ජනේලයක් අසල සිට එම වීඩියෝ දර්ශන ලබාගෙන තිබෙන අතර ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ සේවකයන් වෙසෙන කොටස, නිල නිවසේ ඉදිරිපස කොටසක් සහ එහි නවතා තිබෙන ඔහුගේ ආරක්ෂක පෙර ගමන් රථය මෙම වීඩියෝ දර්ශනවල පැහැදිලිවම පටිගතවී තිබේ.


තමන් නිල නිවසේ නොසිටි අවස්ථාවක කිසිවකු විසින් මෙම වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතා ආණ්ඩුකාරවරයා හමුවේ පිළිගෙන තිබෙන බවද වාර්තාවේ.


මේ සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නද එම විමර්ශන මන්දගාමීව සිදුවීම හේතුවෙන් කරන්නාගොඩ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශනය ආරම්භ කර තිබේ.


ආණ්ඩුකාරවරයාට එල්ලවී ඇති තර්ජනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා යම් දේශපාලන මැදිහත් වීමක් සිදුව ඇත්දැයි සොයා බලමින් සිටින බවද වාර්තාවේ. සැක කටයුතු දුරකථන ඇමතුම් කීපයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේවනවිට කුරුණෑගල ප්‍රදේශයේ සිටින සැකකටයුතු පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබාගෙන ඇති බවද කියයි.


මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන වයඹ ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති ආරක්ෂාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments