රජයෙන් වෘත්තීයවේදීන්ට පොරොන්දුවක්...

 

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ රජය අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.


එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.


එහිදී රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා මෙට පෙර ඉදිරිපත් කර තිබූ විකල්ප යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


එහිදී අද සිදුකළ සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් හෙට (14) උදෑසන ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමටත් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් හෙට දිනය තුළ දේශපාලනික පිළිතුරක් ලබාදෙනු ඇති බවටත් එම සාකච්ඡාවට එක්වූ නිලධාරීන් විසින් වෘත්තීයවේදීන් වෙත පොරොන්දුවක් ලබාදුන් බවද වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් පැවසීය.


අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම විශේෂ සාකච්ඡාවට ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වී තිබේ.

Post a Comment

0 Comments