බදු නොගෙවන දැවැන්තයන් මෙන්න…


 දැවැන්තම ආදායම් ලබන, රුපියල් බිලියන ගණනින් ලාභ ලබන ශ්‍රී ලංකාවේ සමාගම්වලින් බහුතරයක් බදු නොගෙවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර කොළඹ ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවති “ ජන පීඩක බදු සංශෝධන සහ රටේ හෙට දවස “ මහජන කතිකාවත හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ පැවසීය

විකල්ප නැතිද ?

ජනාධිපතිතුමන් නිතර කියන කතාවක් තමයි විවේචනය වෙනුවට විකල්ප ඉදිරිපත් කරන්න කියන එක. පොලී අනුපාතය වැඩි කරපු එක වැරදි නම් විකල්පය මොකක්ද ? බදු වැඩි කිරීම වැරදි නම් විකල්පය මොකක්ද ? කියලයි එතුමා අසන්නේ. මේ සඳහා විකල්පය ඉදිරිපත් කරලා තියෙනවා. මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමා කිව්වා මේවා බලලා ඉවරවෙලා ඔවුන් කිව්වලු දැන් අපි මූල්‍ය අරමුදල සමග එකඟතාවය හදාගෙන ඉවර නිසා මේවා කරන්න විදිහක් නෑ කියලා. ඒක නම් බොරුවක්. මූල්‍ය අරමුදල කියන්න පුළුවන් අයවැය පරතරය මෙන්න මේ ප්‍රතිශතය දක්වා අඩු කරන්න කියලා. බදු ආදායම මේ දක්වා වැඩි කරන්න කියලා. නමුත් මූල්‍ය අරමුදල කවදාවත් කියන්නේ නැහැ අහවල් අයගෙන් අහවල් ප්‍රමාණයට බදු අය කරන්න කියලා.

විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. හඬ නගනවා. උද්ඝෝෂණය කරනවා. නමුත් ආණ්ඩුව ඇසුනේ නෑ වගේ ඉන්නවා. ආණ්ඩුවේ කිසිම ප්‍රතිචාරයක් නැහැ.

පාලකයන්ට නැති දේ

මට මතක් වෙනවා මා කුඩා කල ඇසූ කවියක්. එහිදී මිනිසුන් පාලකයන්ට යමක් කියලා එයට පාලකයන් සවන් නොදුන් විට මිනිසුන් ඒ ගැන දෙවියන්ට කියනවා.

දෙවියනි අපේ පාලකයන් අන්ධ වී ඇත. දෙනුමැන ඔවුන්ට නෙත්.

දෙවියනි අපේ පාලකයන් බිහිරි වී ඇත. දෙනුමැන ඔවුන්ට කන්.

දෙවියනි අපේ පාලකයන් ගොළුවී ඇත. දෙනුමැන ඔවුන්ට හඬ.

එවිට දෙවියන් මෙහෙම කියනවා.

දරුව ඔබේ පාලකයන්ට නැත්තේ ඇස්, කන්, හෝ හඬ නොවෙයි. ඔවුන්ට නැත්තේ බුද්ධියයි. ඔවුන් බුද්ධිය ලැබූ සැණෙකින් එකී සියලු දේ ලබනවා ඇත.

මේ පාලකයින් ඔබේ හඬ නොඇසුනා සේ සිටින්නේ එක්කෝ ඔවුන්ට ඔබ කියන දේ තේරුම් ගන්නට බැහැ. බහුතරයක් ඉන්නේ එහෙම අය තමයි. අපේ අමාත්‍ය මන්ඩලයේ හිටිය සමහර ඇමතිවරුන් හිතාගෙන හිටියෙ ඩොලර් නැව් වල දාගෙන ගෙන එන ජාතියක් කියලා. ඉතින් ඔවුන් වරක් කිව්වා බය වෙන්න එපා ඩොලර් නැව් තුනක් මග එනවා. එතකොට ඩොලර් ප්‍රශ්නය ඉවර වෙනවා කියලා.

ගාන්ධිගේ ආදර්ශය

ආණ්ඩුව හිතනවා ඇති තමුන්නාන්සේලා ව මහන්සි කරලා හති වට්ටලා මේක ඉවරයක් කරන්න. ඡන්දය සහ විපක්ෂය ගැනත් ඔවුන් හිතාගෙන ඉන්නේ ඔහොම තමයි. හැබැයි හැබැයි අපි දැක්කා එහෙම හිතපු බටහිර පාලකයන්ට ගාන්ධිතුමා දුන්න උත්තරය. ඉන්දියාව දාලා යන්න බැරි ඇයි කියලා බටහිර පාලකයන්ගෙන් ඇහුවහම ඔවුන් කිව්වා රෙදි පිළි කර්මාන්තය තමයි අපේ ලැන්කෙෂයර් ප්‍රාන්තයේ තියෙන දැවැන්තම කර්මාන්තය. මේකට පැවැත්මක් නැති ව යනවා ඉන්දියාවේ වෙළෙඳපොළ වැහුණොත් කියලා. ගාන්ධිතුමා ඉන්දියානුවන්ට කිව්වා හැමෝම රෙදි වියන්න පටන් ගන්න කියලා එංගලන්තයෙන් ගෙන එන රෙදි පිළි වෙනුවට. ලුණු මත බදු දැම්මම තමන්ට අවශ්‍ය ලුණු තමන්ම හදාගෙන බදු නොගෙවා ඉඳලා හැමෝම හිරේ යන්න පටන් ගත්තා.

අපි හැමෝම බදු නොගෙවා හිටියොත් ආණ්ඩුවට මොකද වෙන්නේ ? හෘදය වස්තුව පිරිසිදු ලේ නිකුත් කිරීම නතරකලා වගේ වෙනවා. ආණ්ඩුව දුවන්නේ මේ බදු මුදලෙන්. නමුත් ආණ්ඩුවට ඇහෙන්නේ නැත්නම් දැනෙන්නෙ නැත්නම් අපි හැමෝම සාමූහිකව එකට එකතු වෙලා බදු ගෙවීම නතර කළොත් අන්න ආණ්ඩුවට දැනෙන්න පටන් ගන්නවා. අපි ගාව දණ ගහලා අපේ හඩට ඇහුම්කම් දෙන්න සිද්ධ වෙනවා.

බදු නොගෙවන්නෝ මෙන්න

අපි දැක්කා මෙතනදි ඉදිරිපත් වෙනවා කරුණු සමාගම්වලට බදු අය කරල තියෙන්නෙ 30%යි. නමුත් මේ පේඊ බද්ධ (paye tax) 36% වෙනවා. නමුත් ඔය සමාගම් වලට දීලා ති‍යෙන 30% බදු මුදල සමාගම් සාතිශය බහුතරයක් ගෙවන්නේ නැහැ. ඩීල් දානවා. විවිධ බදු විරාම දීලා තියෙනවා. ආයෝජන මණ්ඩලයෙන් අපනයනකරුවන්ට බදු විරාම දෙනවා. දැවැන්ත ආයෝජන සඳහා බදු විරාමයක් දෙනවා. නව නිපැයුම්, යටිතල පහසුකම් සංවර්ධණය මේ වගේ මොකක් හරි නමක් දීලා බදු විරාමයක් දෙනවා. එසේ මෙසේ කාල වලටත් නෙවෙයි. අවුරුදු 10, 15, 20 වගේ කාලවල ට. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ බදු විරාම දීලා තිබුණු ප්‍රධාන සමාගම්වල එම කාලය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලයේ අවසන් වුනා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දමමින් මෙම සමාගම් වල බදු විරාම කාලය දිගු කළා. බදු කළමනාකරණයේ වැදගත්ම සාධකයක් තමයි බදු එකතු කිරීමේ පිරිවැය අඩු වෙන්නත් ඕන. එහෙම නම් වෘත්තිකයන් විධායක නිලධාරීන් වගේ ගොඩ දෙනෙකුගේ ටික ටික බදු ගන්නවට වඩා බදු පිරිවැය අඩු වෙන්නේ ගොඩ ගොඩ ටික දෙනෙක්ගෙන් ගන්න පුළුවන් නම්.

බදු ගෙවිය හැකි ලංකාවේ දැවැන්ත සමාගම් සාතිශ්‍ය බහුතරය සතයක් බදු ගෙවන්නේ නැහැ. ඒ අය විවිධ වර්ගයේ බදු විරාම භුක්ති විදිනවා. මුදල් අමාත්‍යවරයා නිතර ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් තියෙනවා. 2008 උපාය මාර්ගික සංවර්ධන පනත යටතේ බදු සහන ලබා දීම තමයි ඒ. ජාතික ආර්ථිකයට සුවිශේෂී වැදගත්කමක් තියෙනවා නම් මුදල් අමාත්‍යවරයාට ඇමති මණ්ඩල අනුමැතියෙන් දීර්ඝ කාල වලට බදු සහන දෙන්න පුළුවන්. ආයෝජන මණ්ඩලයෙන් බදු සහන ගන්න බැරිවෙච්ච සමාගම් ටික මුදල් අමාත්‍යවරයා සමග ඩීල් දාලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා මුදල් අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයක් හරහා බදු සහන ලබා ගන්නවා. ලංකාවේ බදු ගෙවිය යුතු දැවැන්තම ආදායම් ලබන රුපියල් බිලියන ගණනින් ලාභ ලබන සමාගම් ක්ෂේත්රයේ ආයතන බදු ගෙවන්නේ නැහැ. ඒ නිසා තමයි මේ රටේ වෘත්තීයවේදීන් විධායක නිලධාරීන් මතක අදික බදු පැටවීමට ආණ්ඩුව කටයුතු කරන්නේ. මොකද අරවත් එක්ක ඩීල් දැම්මම එක ඩීල් එකෙන් බිලියන ගණනක ඩීල් එකක් දාන්න පුළුවන්. මේ වෘත්තීය වේදියෙක් එක්ක එහෙම ඩීල් එකක් දාලා වැඩක් නෑ. ඒ නිසා තමයි මේ මහා බදු මූලධර්මයට පටහැනි ව ලොකු සමාගම් පැත්තකින් තියලා පේඊ බද්දධ මත දැවැන්ත වැඩි කිරීමක් කරල තියෙන්නෙ.

ඒ නිසා දූෂණය සහ හොරකම කියන දෙය මේ බදු ප්‍රතිපත්තිය ඇතුලේ මැනවින් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඔබතුමාලා මේ කරන අරගලය එක්ක අපි හැමදාමත් හිටියා. හෙටත් අපි ඔබතුමන්ලා සමග ඉන්නවා.

Post a Comment

0 Comments