හොරණ රාජකීය විද්‍යාලය සහ පාදුක්ක සිරි පියරතන විද්‍යාලය අතර තෙවන වරටත් පැවති රන්දම් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ඊයේ (4) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.
හොරණ මිල්ලනිය පූජිත් උඩුවන ක්‍රීඩාංගණයේදී තුන් වෙනිදා ආරම්භ වුණ රන්දම් සටන මහා ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් හොරණ රාජකීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට පාදුක්ක සිරි පියරතන විද්‍යාලයීය කණ්ඩායමට ආරාධනා කළ අතර මුලින්ම පන්දුවට පහර දුන් සිරිපියරතන කණ්ඩායමට පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණි .
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හොරණ රාජකීය කණ්ඩායමේ මිනිදු හඳපාන්ගොඩ ලකුණු 23කදී කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
පසුව පළමු ඉනිම ක්‍රීඩා කළ හොරණ රාජකීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 172ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජය වාර්තා කිරිමට සමත් විය .
ලකුණු 85ක් පිටුපසින් හිඳිමින් දෙවන ඉනිම ආරම්භ කළ පාදුක්ක සිරි පියරතන කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 130ක් ලබාගෙන සිටියදි වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදුවිය .
ඒ අනුව තරඟයේ වීරයා ලෙස සමස්ථ තරඟයේ දී කඩුලු 7ක් සහ ලකුණු 33ක් ලබාගත් රාජකීය විද්‍යාලයේ මිනිදු හඳපාන්ගොඩ පත්වුණු අතර හොඳම පිතිකරුවා ලෙස රාජකීය විද්‍යාලය වෙනුවෙන් පළමු ඉනිමේ ලකුණු 72ක් ලබාගත් පසන් ගීකියනගේද කුසලාන ලබාගත්තේය.
හොඳම පන්දු රකින්නා ලෙස කුසලාන ලබාගත්තේ සිරිපියරතන විද්‍යාලයේ සෙනෙත් අක්මීමන.


0 Comments