සුරා බද්ද අඩු කරන්න ඉල්ලයි...

 



මත්පැන් අලෙවිය සීග්‍ර ලෙස අඩුවීම නිසා පනවා ඇති සුරා බද්ද අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කර ඇත.ඒ මත්පැන් නිෂ්පාදන සමාගම් 13 ක් සුරාබදු දෙපාර්තමේන්තුවට සහ මුදල් අමාත්‍යාංශයට යොමුකළ ලිපියක් පදනම් කරගනිමිනි.


එම ලිපියෙන් සුරා බද්ද රුපියල් 2000 කින් අඩු කරන ලෙස ඉල්ලා තිබේ.


මේ වනවිට මත්පැන්,බියර් සඳහා රුපියල් 4500 සිට 5500 දක්වා වූ විවිධ පරාසයන්ගෙන් සුරාබද්ද අය කරයි.


මේ වනවිට මත්පැන් අලෙවිය සියයට 40 කින් බිඳවැටී ඇති අතර,ඇතැම් මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා වසා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ලංකා සීනි සමාගම විසින් නිෂ්පාදනය කරන අතර, මාර්තු මස 10 වැනිදා වන විට එතනෝල් ලීටර් ලක්ෂ 70 ක් පමණ ගොඩගැසී තිබිණි.


තවද, මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් මිලදී ගෙන ඇති එතනෝල් ලීටර් ලක්ෂ 03 ක ප්‍රමාණයක් ගුදම්වල ගබඩා කර ඇත.


මත්පැන් මිල ඉහළ යෑමත්, ජීවන වියදම ඉහළ යෑමත් නිසා මත්පැන් අලෙවිය විශාල ලෙස අඩුවී ඇතැයි සමාගම් පෙන්වා දෙයි.


මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ සුරාබද්ද අඩු කරන ලෙස මත්පැන් නිෂ්පාදකයන් සේම සුරාබදු දෙපාර්තමේන්තුවද ඉල්ලා ඇති බවත්, මත්පැන් මිල ඉහළ යෑම නිසා බොහෝ දෙනකු අනවසර මත්පැන් පානයට යොමුවී තිබෙන බවත්ය. මෙම තත්ත්වය පාලනය කිරීමට නම් සුරා බද්ද හැකිතාක් අඩුකළ යුතුව ඇතැයිද ඔහු කීවේය.

Post a Comment

0 Comments