අදත් ක්ෂේත්‍ර රැසක වැඩවර්ජන

 



සැලසුම් කළ පරිදි අද (14) දිනය තුළ වර්ජනයේ නිරත වන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසයි.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ, ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඊයේ (13) රාත්‍රී පැවැත් වූ සාකච්ඡාවල ප්‍රගතියක් පැවතියද වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවය.


ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වල රෝහල්වල අද දිනය තුළ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.


මේ අතර අදාළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවසන් තීරණයක් නොලැබුණු බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක ඊයේ රාත්‍රී ප්‍රකාශ කළේය.


ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක ප්‍රකාශ කළේ, බැංකු සේවකයින් අද දහවල් ලේක්හවුස් වටරවුමේ සහ ප්‍රධාන නගරවල විරෝධතාවක නිරත වන බවය.


මේ අතර 15 වනදා සිට වර්ජනයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න සඳහන් කළේය.

Post a Comment

0 Comments