සිසුවියන් දෙදෙනෙක් 5000 ගාණේ අතින් අත ගිහින්...

 

පාසල් සිසුවියන් දෙදෙනකු රුපියල් පන්දාහ බැගින් මිල කර ගණිකා වෘත්තියේ යෙදවූ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයා මාතර ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් අරඹා ඇත. මෙම දැරියන් දෙදෙනා මිලදීගෙන දූෂණය කළ බව සැකකරන පුද්ගලයන් හත්දෙනකු පෙරේදා (08) වන විට අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ අතර ලැගුම්හල් දෙකක කළමනාකරුවන්, පාසල් සිසුවෙක්, ධීවරයෙක් හා එක් සිසුවියකගේ පෙම්වතාද සිටී.


මෙම විමර්ශනවලට අනුව හතළිස් දෙනකුගේ පමණ තොරතුරු හෙළිවී ඇති අතර තවත් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.


අවුරුදු දහසයේ දැරිය ගණිකා වෘත්තියට යොමු කර ව්‍යාපාරයක් සේ ඇයව විකිණීමට පටන් ගෙන ඇත්තේ ඇගේ පෙම්වතාය. ඉන්පසුව ඇය තමාගේ මිතුරියක වූ 15 හැවිරිදි දැරියක්ද මෙම ජාවාරමට යොමු කරගෙන විවිධ පුද්ගලයන්ට දුරකතනයෙන් විකුණා ඇතැයි හෙළි වී තිබේ. මෙහිදී රුපියල් පන්දහසට තම මිතුරිය විකුණා ඉන් රුපියල් තුන්දහසක් අවුරුදු 16යේ සිසුවිය තබාගෙන ඇතැයි මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත කළ විමර්ශනවලදී හෙළි වී ඇත.


මෙම දැරියන් විකිණීමට හවුල් වූ හා දූෂණය කළ පුද්ගලයන්ට මිනිස් වෙළෙඳාම යටතේ නඩු පැවරීමට ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන අරඹා ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශ භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර අරුණ කළ විමසුමකදී පැවැසීය.


මෙම සිසුවියන් දෙදෙනා අතරින් දාසය හැවිරිදි සිසුවිය මුහුණු පොත හරහා තරුණයකු හා ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත මෙම ජාවාරමට එක් වී ඇත. ඇගේ පෙම්වතා තවත් අයෙක් හා එක්ව ඇයව වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවටත් තොරතුරු ලැබී තිබේ. පසුව දාසය හැවිරිදි සිසුවිය විසින් පහළොස් හැවිරිදි සිසුවියව ගණිකා වෘත්තියේ යොදවාගෙන තිබේ.


මෙම දැරියන් දෙදෙනා ඉඳහිට පාසල් ගියද දෙමාපියන් ඔවුන් ගැන සොයා බලා නැතැයි හෙළි වී තිබේ.


දෙමාපියන්ගේ අවධානය නැතිවීම නිසා දැරියන් විවිධ පුද්ගලයන්ට අලෙවි කොට ඇති බවද හෙළි වී ඇත.


එමෙන්ම මෙම දැරියන් පොලිස් භාරයට පත් වූ පසු 16 වියැති සිසුවියගේ දුරකතනයට ඇය හා සබඳතා පැවැත්වූ පුද්ගලයන්ගෙන් ඇමතුම් රැසක් ලැබී ඇති අතර එම දුරකතන අංක සහ එහි සටහන් වී ඇති දුරකතන අංක ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි.


මාතර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ යටතේ විමර්ශන පැවැත්වේ.

Post a Comment

0 Comments