එළකිරි මිලදී ගන්නා මුවාවෙන් දහවල් කාලයේ පැමිණ ඔත්තු බලා රාත්‍රී කාලයට ගොස් ගවයින් සොරා ගැනීමේ නිරත සංවිධානාත්මක කල්ලියක අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
සැකකරුවන් සමඟ සොරා ගෙන තිබූ ගවයින් දෙදෙනෙකු, ඔවුන් පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මෙන්ම කඹ ආදිය පොලිස් භාරයට ගෙන ඇත.
තවත් සැකකරුවන් කිහිප දෙනකු පැමිණි ලොරියකින් ගවයකු රැගෙන පලාගොස් ඇත.
රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත කහතුඩුව පොලිසියේ නිලධාරීන්ට කිරිවත්තුඩුව මූනමලේවත්ත හකුරු දෙනිය ප්‍රදේශයේදී මධ්‍යම රාත්‍රියේ එළ වැස්සියෙකු සහ කුඩා පැටවකු දක්කාගෙන ඉදිරියට පැමිණෙමින් සිටි පුද්ගලයන් දෙදෙනකුගෙන් මේ බව විමසීමේදී වෙලේ ගැට ගසා සිටි හරක් දෙන්නා කිරි ගැනීම සඳහා පට්ටියට රැගෙන යන බව පවසා ඇත.
පොලිස් නිලධාරීන්ට එම පුද්ගලයන් සම්බන්ධයෙන් සැකයක් හටගෙන ඔවුන් නවතාගෙන සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංශයට 119 දුරකථන අංකය හරහා එම ප්‍රදේශයේ ගවයින් දෙදෙනකු සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය පවසයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් ද දැනුවත් කිරීමත් සමගම ගවයින් දෙදෙනා රැගෙන එමින් සිටි පුද්ගලයන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටීමේදී ඔවුන් සතුව හැදුනුම්පතක් නොවීමත් එම ප්‍රදේශයේ පුද්ගලයන් නොවන බවට අනාවරණය වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මද වේලාවක දී නැති වූ ගවයින් දෙදෙනාගේ හිමිකරුවන් ගවයින් සොයා යාමේදී කැලෑව තුල නවතා තිබූ ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් දැක ඒ බව කහතුඩුව පොලිසිය දැනුම්වත් කර තිබූ අතර පොලිස් පණිවුඩ හරහා ලබා දුන් තොරතුරක් අනුව ජංගම සංචාරය නිලධාරීන් නවතා ගෙන සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි
ඒ වන විට මේ ආරංචිය ගම පුරා සැලවී කිරිවත්තුඩුව මූනමලේ වත්ත හකුරු දෙනිය ගම්වාසීන් අවදිව ප්‍රදේශයෙහි සැරිසරමින් සිටියදී නාඳුනන පුද්ගලයන් පුද්ගලයන් 6 දෙනෙකු දැක ඔහු අල්ලා පොලීසියට භාර දීමට කටයුතු කරනු ලැබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු යකහලුව ප්‍රදේශයේ ගව පට්ටියක් වටා ආවරණය කර තිබූ දැල කපා එහි සිටි ගවයින් දෙදෙනෙකු ලොරියට නග්ගාගෙන පිට වීමට සූදානම් වීමේදී එක් ගවයකු ලොරියෙන් පිටතට පැන තිබූ බව පොලිසිය පවසයි.
ගම්වාසීන් අවදිව ගම් පුරා සැරිසරන බව දැනගත් ලොරියෙ සිටි පුද්ගලයන් ඒ අනුව පලා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දෙහිවල ප්‍රදේශයේ ගව ඝාතනාගාරයකට ගවයින් රැගෙන යාම සඳහා පැමිණි බවට ප්‍රකාශ කර ඇත.
මෝටර් රථය එම ගව ඝාතනාගාර ආසන්නයේ ගරාජයකට අළුත්වැඩියා කටයුත්තකට රැගෙන ආ එකක් බවට ද බවටද අනාවරණ වූ බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් බහුතරයක් පුද්ගලයන් දහවල් කාලයට ගරාජයේ සේවය කර රාත්‍රී කාලයට ගව සොරකමේ යන පුද්ගලයන් බවට හඳුනා ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන්ගෙන් එක් අයකු පමණක් දෙහිවල පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයන් මතුරට, කීරම, මයියංගන ආදී දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සැකකරුවන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments