වෙඩි පිට වෙඩි තැබූ පාසැල් ශිෂ්‍යාව...

 

පසුගිය මාර්තු 28 සිට අප්‍රේල් 04 දක්වා වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ දී පැවැති වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේ දී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නෙහාෂා වීරසිංහ නම් ශිෂ්‍යාව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ වෙඩික්කාරියන් පරදවා පිට පිට ශූරතා තුනක් දිනා ගනිමින් ජාතික ශූරියක් බවට පත් වූවාය.


ශ්‍රී ලංකා නාවික හමුදාව 7 වන වරට සංවිධානය කළ මෙම තරගාවලියේ දී නෙහාෂා වයස අවුරුදු 21න් පහළ මීටර් 10 වායු පිස්තෝල කාන්තා තරගයේ ශූරතාවය (කණිෂ්ඨ ජාතික ශූරතාවය) ද, මීටර් 25 ක්‍රීඩා පිස්තෝල කාන්තා කණිෂ්ඨ ශූරතාවය ද, මීටර් 10 කාන්තා විවෘත ශූරතාවය ද දිනා ගත්තාය.


මීටර් 10 කාන්තා විවෘත ශූරතාවය දිනා ගැනීමේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් නෙහාෂා වීරසිංහ ඉදිරියේ පරාජය වීම සුවිශේෂී කරුණකි.


වසර ගණනක් පුරා වායු පිස්තෝල වෙඩි පිටිවල හරඹ දක්වන ඇය නොබෝ දිනකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමණාකරණය පිළිබඳ උපාධියේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.

 

නෙහාෂා වීරසිංහ ප්‍රවීණ වෙඩි පුහුණුකරුවකු වන නන්දන වීරසිංහගේ වැඩිමල් දියණිය යි.

Post a Comment

0 Comments