මේ වන විට මාසයකට සහල් කිලෝග්‍රෑම් කෝටියකට අධික ප්‍රමාණයක් මත්පැන් නිෂ්පාදනය සඳහා එම සමාගම් මිලදී ගන්නා බව කුඩාමෝල් හිමියෝ පවසති.
සත්ත්ව ආහාර සඳහා සහල් මිලට ගැනීම තොග රැස් කිරීම ගබඩා කිරීම නීතියෙන් තහනම් වුවත් එතනෝල් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම තහනමක් නොමැත.
මෑතකදී තහනම ඉවත් කළ මත්පැන් නිෂ්පාදන සමාගමක් මාසයකට පොළොන්නරුවේ සහල් නිෂ්පාදනය කරන මෝලකින් පමණක් කිලෝග්‍රෑම් ලක්ෂයක් මිලදී ගන්නා බව වාර්තාවේ.
පොළොන්නරුවේ ප්‍රධාන ධාරාවේ ඇති සහල් මෝලකින් මෙසේ කිලෝග්‍රෑමයක් රුපියල් එකසිය තිහක මිලකට මිලදී ගන්නා අතර එම සහල් පිටි ලෙස අඹරා රැගෙන යන බව සඳහන් වේ. මෙසේ පසුගිය මාස දෙකක කාලයක සිට එතනෝල් නිෂ්පාදනය කිරීම සඳහා මෙම සමාගම සහල් රැගෙන යන බව එම මෝල් හිමියෝ පවසති. මේ ආකාරයට ප්‍රධාන පෙළේ අරක්කු හා බියර් නිෂ්පාදනය කරනු ලබන සමාගම් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය බාර්ලි වෙනුවට සහල් යොදා ගන්නා අතර සහල් ලෙස හොඳින් පොලිෂ් කර වෙළෙඳපොළට යොමු කිරීමට වඩා මෙවැනි සමාගම්වලට ලබාදීම ලාභදායි බව එම මෝල් හිමියයෝ පවසති.
මෙම තත්ත්වය මත වර්ෂය අවසානයේ යළිත් රටේ සහල් හිඟයක් මතුව රටින් සහල් ගෙන්වීමට සිදුවේදැයි යන්න සැක මතුවේ. කෙසේ වෙතත් මේ වර්ෂයේ ලෝකයේ සහල් හිඟයක් ඇති විය හැකි බව ෆිච් රේටින් ආයතනයේ පර්යේෂණ අංශය සඳහන් කරයි. ඊට හේතු වී ඇත්තේ යුක්ක්‍රේන යුද්ධය හා වැඩිම සහල් නිෂ්පාදනය කරනු ලබන රටවල් අතරින් චීනයට හා පාකිස්ථානයට බලපෑ නියඟ හා ගංවතුර තත්ත්වයයි.
මෙම තත්ත්වය මත 2023 වර්ෂයේ සහල් නිෂ්පාදනයේ අඩුවීම හේතුවෙන් ලෝකයේ සහල් අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් මිලියන 8700ක පමණ සහල් හිඟයක් ඇති වේ යැයි එම පර්යේෂණ ඒකකය සඳහන් කරයි.

0 Comments